Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Aukana

  • by
භික්ෂු භේදය නිසා වැනසෙන අවුකන. 


දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ඇතුළුව විස්මිත නිර්මාපකයකු අතින් බිහිවූ විශිෂ්ට නිර්මාණයක් ලෙස අවුකන පිළිමය හැඳින්විය හැකිය. කි‍්‍ර.පූ. පස්වැනි සියවසට අයත් මෙය ධාතුසේන රජුගේ අනුග‍්‍රහයෙන් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙයි. එහි ඇති විශිෂ්ට නිර්මාණ ගුණයත් ඓතිහාසික වටිනාකමත් මත අද වනවිට අවුකන පිළිමය මෙන්ම ඒ පිහිටි බිමත් දෙස් විදෙස් සම්භාවනාවට පාත‍්‍ර වූ ජාතික උරුමයක් වී හමාරය. එවන් ජාතික උරුමයක් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම වත්මන් පරපුරේ යුතුකමකි. එහෙත් පසුගිය සමය තුළ අවුකන පුදබිම පිළිබඳ අපට ඇහුන කතා ශාන්ත නැත. මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්ය. අවුකන විහාරස්ථානය අතීතයේ භාරව තිබුණේ විජිතපුර රජමහා විහාරයටය. එහි වැඩ වාසය කළ ධම්මාභිනන්ද හිමියන්ගේ සමය වනවිට විජිතපුර රජමහා විහාරයට අවුකන රජමහා විහාරය හා කොස්වෝකන්ද විහාරය ද භාරව තිබී ඇත. කෙසේ නමුත් ධම්මාභිනන්ද නායක හිමියන්ගේ ඇවෑමෙන් මෙම විහාරස්ථාන උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් තුන් නමකට පැවරුණි. එම ශිෂ්‍ය හිමිවරුන්ගෙන් අද වනවිට ජීවත්ව සිටින්නේ විජිතපුර රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් පමණි.

අවුකන රජමහා විහාරයේ භාරකාරිත්වය ධම්මාභිනන්ද හිමියන්ගේ ඇවෑමෙන් හිමි වූ සුමන හිමියන් තම ශිෂ්‍ය හිමිනම වූ සුමනතිස්ස හිමියන්ට පවරා ඇත. අවුකන රජමහා විහාරයේ ‘උරුමය’ පිළිබඳ ගැටුම ඇතිවන්නේ එතැන් සිටය. විහාරස්ථානය භාරගත් සුමනතිස්ස හිමියන් හා ගම්වැසියන් අතර එතරම් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගී නොතිබූ අතර මින් ප‍්‍රයෝජන ගත්තේ සුමන හිමියන්ගේ පැවිදි සහෝදරයෙක් වූ ධම්මකිත්ති හිමියන්ය. එහිදී ධම්මකිත්ති හිමියන් අවුකන විහාරයේ භාරකාරිත්වය ලබාගැනීමට විරුද්ධව විජිතපුර රජමහා විහාරය විසින් දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරන අතර එම`ගින් ඉල්ලා සිටියේ අවුකන විහාරස්ථානය එහි මුල් උරුමය හිමි විජිතපුර රජමහා විහාරයට පවරන ලෙසය. අස්ගිරි පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් වන නිසා නඩු කටයුතු තුළින් අවුකන විහාරස්ථානය අනුරාධපුර අටමස්ථානයට භාරදී ඇත. අනුරාධපුර අටමස්ථානය තම නියෝජිතයෙක් ලෙස විජිතපුර රජමහා විහාරයට අවුකන රජමහා විහාරයේ භාරකාරිත්වය පවරන ලද නමුත් මාස තුනක් ගතවීමට පෙරම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ නැවත කැඳවීමේ නඩුවක් පැවරීම මඟින් ධම්මකිත්ති හිමියන් යළිත් විහාරස්ථානයේ භාරකාරිත්වය ලබා ගෙන ඇත. එය නඩු තීන්දුව ලබා දෙන තෙක් කළ තාවකාලික භාරදීමකි. කෙසේ වුවද මේ වනවිට අවුකන රජ මහා විහාරයේ අයිතිය සම්බන්ධයෙන් නඩුව විභාගවෙමින් තිබෙනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේය. එහෙයින් මේ වනවිටත් අවුකන ධම්මකිත්ති හිමියන් භාරයේම පවතී. නමුත් ගැටලූව ඇත්තේ එතැන නොවේ. විහාරයේ අයිතිය මොන යම් පාර්ශ්වයකට හිමි වුවද අපට එහි ඇති ගැටලූවක් නැත. එහෙත් මේ වනවිට අවුකන පුදබිමේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදුනොවන බවට එල්ල වන චෝදනාව සම්බන්ධව අසංවේදීව සිටීමට අපට නොහැකිය. එනිසාම ඒ පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් කිරීමට අපි තීරණය කළෙමු. අවුකන විහාරය පිහිටි ප‍්‍රදේශයට අප ගිය ගමනේදී ප‍්‍රදේශයේ ගුරුභවතකු අප හා අදහස් දැක්වූයේ මේ අයුරිනි.


‘පුරාවිද්‍යා එකට තමයි ඔය අවුකන පිළිමය භාරව තියෙන්නේ. හැබැයි ආදායම් ගන්නේ අවුකන විහාරයෙන් නිසා නඩත්තු කටයුතු සම්බන්ධයෙන් වගකීම තියෙන්නෙ විහාරයට. මෙතැන තියෙන ගැටලූව තමයි අවුකන විහාරයට අයිති දායකයෝ ඉන්න වලස්වැව කියන ගමේ ඔය ධම්මකිත්ති හාමුදුරුවන්ගේ ඥාති පිරිසක් ඉන්නවා. එයාලා වගේම පන්සල අවට ඉන්න ටික දෙනෙකුත් හාමුදුරුවන්ට කැමැතියි. ඒකට හේතුව එයාලට තියෙන ලාභ ප‍්‍රයෝජන. හැබැයි මේ සිද්ධ වෙන දේවල්වලට ගමේ සමහර අය කැමැති නැහැ. ඔය වලස්වැව කියන ගම වගේම තවත් ගම්මාන කිහිපයක්ම මේ අවුකන පන්සල අවට තියෙනවා. ඒත් ඒ ගොඩක් ගම්මානවල දායකයෝ පන්සලෙන් ඈත් වෙලා’ ‘ඔය පිළිමය පුදුමාකාර නිර්මාණයක්. ඔය තරම් උසස් ඇහැකින් පිහිටි ගලේම නෙළපු තවත් පිළිමයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ගාන්ධාර සම්ප‍්‍රදායත් අමරාවතී සම්ප‍්‍රදායත් කියන දෙකම එකතු කරලා නිර්මාණය කරපු මේ පිළිමය ලඹ කරලා තියෙන විදිහ ගැන ලෝකෙම කතා කරනවා. ඒත් මේ ඉන්න අයට වටිනාකමක් නැහැ. ඔය පිළිමේ පිටිපස්සේ තියෙන ලෙන් කුටිවල රහතන් වහන්සේලා පවා වැඩ සිට තියෙනවලූ. ඒ කටාරම් කොටපු ගල් ලෙන් අද කැලෑවට යන්න දීලා. හාමුදුරුවෝ මේවා ගැන උනන්දු නොවෙන්න හේතුව තමයි, නඩුව පැරදිලා පන්සල දාලා යන්න වෙනවා කියලා එයා හිතන එක. හාමුදුරුවෝ කරන්නේ ලැබෙන මුදල් එකතු කරගන්න එක විතරයි. ඒක තමයි ඇත්ත’ ඉන් අනතුරුව අප සමග අවුකන ප‍්‍රදේශයේ වාසය කරන තවත් පුද්ගලයෙක් මෙසේ අදහස් දැක්වීය. ‘අපේ අම්මා, මුත්තා කාලේ ඉඳන්ම ආඩම්බරෙන් කිව්වා අපි අවුකන මිනිස්සු කියලා. මොන දේශ දීපංකරේ ගියත් අපේ ගම නොදන්න පොඩි එකෙක්වත් නැහැ. ඔය පිළිම වහන්සේ හින්දා තමයි ඔය ගෞරවය අපේ ගමේ එවුන්ට ලැබුණේ. ඒ වුණාට අද මේ වෙන දේවල් ඇස්, කන්, උහුලන්නේ නැහැ. අපි දන්න කාලේ ඉඳලා ඔය ලෙන් බලන්න ගියා. පන්සල පිරිසුදුව තිබුණා. ඒත් දැන් කැලේ වැවිලා. ඔය පන්සලේ උන්නු ලොකු හාමුදුරුවන්ගේ සොහොනත් අද කැලෑ වෙලා.
දැන් ඉන්න ඇත්තන්ට මේවා ගැන කැක්කුමක් නැහැනේ මහත්තයෝ. සල්ලි විතරයි මුන් සේරටම ඕනෙ. මහත්තයලා ගිහින් බලන්නකෝ මේ අපි කියන කතා බොරුද කියලා. ඕවා අහස පොළව නුහුලන අපරාධ. රටක් රාජ්ජයක් දන්න තැනක් කැලේට යන එක පව් මහත්තයෝ. අනික මේ අපේ උරුමය නේද?’ ඒ අවුකන ගම්මුන්ගේ අව්‍යාජ අදහසයි. අප සමග අදහස් දක්වන්න ඉදිරිපත් වුවත් සියලූ දෙනා දැක්වූ අදහස්වල හරය සමාන විය. සමහරු අප මඟ හැර යාමට උත්සහ දැරූහ. ඒ අය කෙටියෙන් අපට දැක්වූ අදහස නම් අවුකන ගැන කතා කිරීම ගැටලූ රැුසකට මුලපුරන්නට හේතු විය හැකි බවය. ගම්මුන් මෙසේ බිය වන්නේ කවර කාරණයක් අරඹයා දැයි අප දන්නේ නැත. එහෙත් ඔවුන් හැඟවූයේ මේ පිටුපස අදෘශ්‍යමාන හස්තයක් තිබෙන බවද යන්න අපට නැගුණු තවත් පැනයක්ය. ප‍්‍රදේශවාසීන්ගෙන් අදහස් විමසීමෙන් අනතුරුව අප අවධානය යොමුවූයේ අවුකන විහාරය වෙතය. අප එහි යනවිටත් විදේශීය සංචාරකයන් පිරිසක් එහි පැමිණ සිටිනු දැක ගත හැකි විය. මෙහි අප අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ එම සංචාරකයන්ගෙන් විහාරස්ථානයේ පිහිටි කාර්යාලයේදී මුදල් අයකරනු අප නිරීක්ෂණයට ලක් වූ බවයි. එම ස්ථානයේ ධම්මකිත්ති හිමියන් ද වැඩ සිටි අතර, මුදල් අය කළේ අවුරුදු 65ක් පමණ වන වයසක පුද්ගලයෙකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරන පරිදි ඔවුන් කිසිදු මුදලක් ලබා ගන්නේ නැත. එසේ නම් මෙම මුදල් ලබා ගන්නේ කවුද? මෙසේ මුදල් අයකරන පිරිස් විහාරයට අදාළව කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොකරන්නේ මන්ද? අප මේ පිළිබඳ විහාරස්ථානයේ සිටි පුද්ගලයකුගෙන් විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත් තමන් කරන්නේ රැුකියාවක් බවත්ය. එම කුඩා පිළිතුර ලබාදී ඔහු අප මඟ හැර ගියේය. ඉන් අනතුරුව අප විහාරයට පැමිණ සිටි විදේශීය සංචාරකයන් වෙතින් විහාරය නැරඹීමට අය කරන ලද මුදල් පිළිබඳ විමසීමක් කරනු ලැබීය. ඔවුන් අප සමග ප‍්‍රකාශ කළේ රුපියල් දෙදහසක මුදලක් අවුකන පුරාවිද්‍යා භූමියට ඇතුළු වීමේ ප‍්‍රවේශ ගාස්තුව වශයෙන් ලබාගත් බවයි. එවන් මුදලක් ලබාදී වුවත් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට අද වනවිට අවුකන ප‍්‍රතිමාව පසුපසින් වූ කටාරම් කෙටූ ගල් ලෙන් නැරඹීම සඳහා අවස්ථාවක් නොමැත.
ඒ ගැන අප සොයා බැලූ විට එය වසා දමා ඇති බව දැනගන්නට ලැබුණි. නමුත් අප එම ලෙන් පිහිටි ප‍්‍රදේශ වෙත ගිය කල අපට එහිදී දැකගන්නට ලැබුණේ එම ලෙන් කැලෑවට යටවෙමින් පවතින ආකාරයයි. පුරාවිද්‍යාත්මක වශයෙන් සුවිශේෂ මෙවැනි ස්ථානයක් කැලයට යටවීමට ඉඩ දීම කනගාටුදායකය. එපමණක් නොවේ. එකී ගල් ලෙන්වලට සමීපයේ ‘නයි පෙණය’ නමින් හඳුන්වන නාගයකුගේ හැඩය ඇති ස්ථානයද මෙහි සංචාරක ආකර්ෂණය දිනා ඇති ස්ථානයකි. ස්වාභාවික නිර්මාණය වුවද, කවුරුන් හෝ නිර්මාණය කළාදැයි යන්න සැක සහිත මෙම ස්ථානයේද අද වනවිට වල්බිහිවී හමාරය. මෙම ගල්ලෙන් නැරඹීමට ඉඩලබා නොදීම ගැන අප අවුකන විහාරයේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක නිලධාරියකුගෙන් විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ ස්ථානය නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එම ගල්ලෙන් නැරඹීමට යාමට ඉඩ නොදෙන බවයි. මොවුන් පවසන අන්දමට නම් නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට යැයි කියා අවුකන පිළිමය නැරඹීමේ අවස්ථාවද හෙට දිනයේ අහිමිවී යා හැකිය. එවිට මෙම පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු මෙබඳු ස්ථාන නැරඹීමට අවස්ථාව හිමිවන්නේ ආරක්ෂක නිලධාරින්ට හා එම ස්ථානවල රැුකියා කරන පිරිස් වෙත පමණය. කෙසේ හෝ වේවා අවුකන රහතුන් විසූ ගල්ලෙන් නැරඹීමට ඉඩ නොදෙන්නේ නිදන් හොරුන් නිසා නම් එය අතීසාරයට අමුඩ ගැසීමක් හා සමාන බව නම් නොකියාම බැරිය. අවුකන පුදබිමට දෙස් - විදෙස් සංචාරකයන් පැමිණෙන්නේ ප‍්‍රතිමාව නැරඹීම පමණක් නොව අනෙකුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තූන් ද දැක බලාගැනීමේ අරමුණින් යුතුවය.

එසේම අවුකන පුදබිම වන්දනා මාන කරගැනීමට පැමිණෙන බැතිමතුන් අවුකන ප‍්‍රතිමාව පමණක් නොව රහතන් වහන්සේලා වැඩවාසය කළ ගල්ලෙන්ද දැක බලා පහන් සිත් උපදවා ගැනීමට පි‍්‍රය කරයි. නමුත් එකී අවස්ථාව අද අහිමි වී ඇත්තේ මුදල් ගැන විනා ශාසනයක් ජාතික උරුමයක් පිළිබඳ හැඟීමක් නොමැති භාරකරුවන්ගේ තීරණ නිසාවෙනි. අප සමග කතා කළ අවුකන නැරඹීමට පැමිණ සිටි සංචාරකයන්ට ද අවශ්‍ය වූයේ ප‍්‍රතිමාව නැරඹීමට පමණක් නොවේ. ඔවුන් පැවසුවේ ප‍්‍රතිමාව තමන් ඡුායාරූපවලින් පවා ඕනෑ තරම් දැක ඇති නමුත් වෙනත් නටබුන් කිසිවක් දැක නොමැති බවයි. එහිදී අපට හමුවූ තවත් සංචාරකයෙක් ප‍්‍රකාශ කළේ තමන් මීට වසර කිහිපයකට පෙර අවුකන පැමිණි අවස්ථාවක ගල්ලෙන් පිහිටි ප‍්‍රදේශ දැක බලාගත් බවත් මෙවර එම ප‍්‍රදේශයට ගමන් කරන මාර්ගය පවා සොයාගැනීමට නොහැකි බවත්ය. එසේ නම් මේ විනාශ වී යන්නේ ජාතික උරුමයක්ම පමණක් නොවේ. රජරට නුවර කලාවියේ ගැමියාගේ සංස්කෘතිමය සමාජයීයමය ආධ්‍යාත්මික ජීවිතය හා බැඳුණු මූලාංගයකි. අවුකන විහාරයේ භාරකාරිත්වය හිමිවිය යුත්තේ කාටදැයි තීරණය කිරීමේ වුවමනාවක් අපට නැත. එකී තීරණය අධිකරණය සතුය. එහෙත් අපට ඇත්තේ මෙකී කඹ ඇදිල්ලෙන් විනාශ වී යන උරුමය ගැන ගැටලූවකි. අවුකන ප‍්‍රතිමාව නිර්මාණය කරන්නට තම ධනය, බලය වැය කළ ධාතුසේන රජුටත්, අපූර්ව වූ ප‍්‍රතිමා නිර්මාණ ශිල්පියාටත් මෙම ඛේදාන්තය නොපෙනීම භාග්‍යයකි. නමුත් මේ ගැන වර්තමානයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවීම ජාතියේම අභාග්‍යයකි. 



විශේෂ නඩත්තු කටයුතු පමණයි අපි සිදු කරන්නේ... 

  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු මැද ප‍්‍රාදේශීය කාර්යාලය.

අවුකන පිළිමය හා පුරාවස්තු නඩත්තුව භාරව තියෙන්නේ අපේ ආයතනයට. නමුත් ගැටලූව තමයි අපිට වාර්ෂිකව අය වැය මඟින් වෙන්වන මුදල් ප‍්‍රමාණය හා ඉන්න සේවක ප‍්‍රමාණය සීමිතයි. ඒ නිසා මූලික නඩත්තු කටයුතු විතරයි සිද්ධ වෙන්නේ. අවුකන අපේ එකම සේවක මහත්මයෙක් වත් නැහැ. යම් හානියක් වුණොත් හරි පිළිමයේ පුස් බැඳෙනවා වගේ දෙයක් සිද්ධ වුණොත් වගේ නඩත්තු කටයුතු තමයි අපි කරගෙන යන්නේ. ප‍්‍රදර්ශන මට්ටමෙන් කරගෙන යන්න අපිට මුල්‍ය ප‍්‍රතිපාදන ලැබෙන්නෙ නැහැ. මීට කලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් බැමි බඳින වගේ දේවල් ටිකක් සිදුවුණා. මේක කළ යුතු වැඩක්. නමුත් ප‍්‍රතිපාදන ගැටලූව මත අපිට කටයුතු කරන්න අමාරුයි. අනික අපිට තියෙන ප‍්‍රදේශයත් වැඩියි. පිළිමය බලන්න එන සංචාරකයන්ගෙන් ටිකට් කඩලා, සල්ලි ගන්න එක හාමුදුරුවෝ කරන වැඩක්. ඒ ආදායම අපිට ලැබෙන්නේ නැහැ. අපි කිසිම තැනක දේශීය හෝ විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අය කිරීමක් කරන්නෙත් නැහැ. අපිට අයිතියකුත් නැහැ මුදල් එකතු කරන්න. අපි දන්න තරමින් ඔය අවුකන එකතු කරන මුදල් අපිට ලැබෙන්නෙ නැහැ. රිටිගල තමා ඔය ප‍්‍රදේශයේ අපේ සේවකයන් ඉන්න එකම ස්ථානය. ඒ අය යොදවලා තමා හදිසි නඩත්තු කටයුතු කරන්නේ. ඔය පන්සලේ අයිතිය ගැන නඩුවක් තියෙනවා කියලා අපිත් අහලා තියෙනවා. ඒත් හරියටම දන්නෙ නැහැ.

විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2013 සැප්තැම්බර් 08 වැනිදා ඉරිදා.

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE