Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

පරිසරයේ ලොක්කා... නිල්ගලත් වික්කා?

  • by

පරිසරයේ ලොක්කා... නිල්ගලත් වික්කා? 


අපේ ගැමියන් ‘නරියාට කුකුල්ලූ භාර දුන්නා වගේ’ යැයි කියන්නේ අරියාදුවකට නොවේය. ඒ නරියකුට කුකුල්ලූ භාරදීමෙන් අනිත් සතුන්ගෙන් කුකුල්ලූ ආරක්ෂා වීම කෙසේ වෙතත් නරියා අතින්ම එකී කුකුලන්ගේ අවසානය ළඟා වන බැවිනි. පසුගිය සතියේ අප නිල්ගල බලා ගියේ වනාන්තරයේ ඉඩම් අල්ලාගැනීමට විරුද්ධව සංවිධානය කර තිබුණු ගස් මහණ කිරීමේ අවස්ථාවකටය. නමුත් ඒ ගමනේදී නිල්ගල වනය ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයට මුල්තැන ගෙන කි‍්‍රයාකරන ඇතැමුන් ගැන අපට අසන්නට ලැබුණු ඇතැම් කතා සිත් කම්පා කරවනසුලූය. ඒ කතා ඇසීමෙන් අපට සිහිපත් වූයේ පෙර කී නරියාට කුකුලන් භාරදීමේ කතාවය. ඒ නිසාම මෙවර ‘රන්දිව’ ගවේෂණය නිල්ගල ගස් මහණ කිරීමට ගිය අයට මෙන්ම බොහෝදෙනකුට නොඇසුන කතාව වෙනුවෙන් වෙන්කිරීමට තීරණය කළෙමු.



‘මා රහත්දැයි ඔබ අසයි..

මා කෙසේ දනිම් ද? 
‘මම ගසකි’ 
වන වදුල තුළ වැඩුන නෙක සතුන් හට වැඩ වඩන’ 
(අචාන් චා හිමි) 

ඉහත ප‍්‍රකාශය උපුටා ගත්තේ පසුගිය සතියේ, එනම් ජනවාරි 11 වැනි සෙනසුරාදා දින මොනරාගල, බිබිල නිල්ගල වනාන්තරයේ ගස් පැවිදි කිරීමේ උත්සවයේදී බෙදාදුන් පරිසර ප‍්‍රතිඥාවක් අඩංගු පත‍්‍රිකාවකිනි. 

නිල්ගල යනු ශ‍්‍රී ලංකාවට අනන්‍ය ජෛව කලාප හතරෙන් ඌව පතන් බිම් කලාපයට අයත් එයටම ආවේණික ජෛව පද්ධතියකි. එසේම නිල්ගල (සැවානා) වනාන්තරයට එයටම අනන්‍ය වූ භූ ඉතිහාසයක්, ප‍්‍රාග් ඓතිහාසික සාධක රැසක් මෙන්ම ජීවී පොසිල සම්භාරයකින් ද සමන්විත සුවිශේෂීත්වයක්ද තිබේ. අලි ඇතුන් බහුලව ජීවත් වන මූකලන් ප‍්‍රදේශයක් ලෙසද හඳුනාගත හැකි එය ඖෂධීය වනාන්තරයක් ලෙසද ප‍්‍රසිද්ධය. ඓතිහාසික වශයෙන් මෙය රාවණා රජුගේ මුත්තනුවන් වන පුලතිසි ඍෂිවරයා විසින් රෝපණය කරන ලද්දක් වන බවටත් මත පවතින අතර බුද්ධදාස රජුගේ ඔසු උයන බවටද තවත් මතයක් පවතී. 

අරළු, බුළු, නෙල්ලි, ගම්මාලූ වැනි ශාක ප‍්‍රධාන වශයෙන් මෙම නිල්ගල වනාන්තරයේ ඉහළ ස්ථරය නියෝජනය කරන අතර තෘණ ශාකවලින් වැසී ගිය පහළ ස්ථරයකින්ද යුතුය. Fox Tail  ලෙස හඳුන්වන ඕකීඞ් වර්ගය මෙම නිල්ගල වනාන්තරයේදී හමුවන අතර පඳුරු කටුස්සන්, පඳුරු වටුවන්, පතන් කුකුළන් වැනි මෙම කලාපයට සුවිශේෂීම සත්ව විශේෂයන් රැසක්ම දැකගැනීමට හැකිය. මෙම ඇතැම් සත්ව විශේෂ රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති වඳවීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණදී සිටින සත්ව විශේෂයන්ය. 

නිල්ගල වනාන්තරය යනු මෙරට සුවිශේෂී ජෛව කලාපයක් වුවද අද වනවිට දැඩි වනාන්තර විනාශයකට මුහුණපා තිබෙන වනාන්තරයකි. වාර්ෂිකව සිදුවන ගිනි තැබීම්, උක් වගාවන් වැනි වාණිජ වගාවන් සඳහා කැලය එළිපෙහෙළි කිරීම නිල්ගල ආශ‍්‍රිතව දිගින් දිගටම සිදුවූ අතර මීට මාස හතරකට පමණ ඉහතදී ආරම්භ වූ වනාන්තරය අවටම ජනතාව විසින් කැලය එළිපෙහෙළි කිරීම දැඩි ලෙස මෙම පාරිසරික පද්ධතියට හානි කරන තත්ත්වයක් උද්ගත විය. බිබිල, මැදගම වනසංරක්ෂණ කාර්යාල මඟින් ආරක්ෂාව සැපයෙන කොටබෝව, බැඳියාව සහ කළු ගඟවාඩිය යන ග‍්‍රාමසේවා වසම්වල පිහිටි ගල්ගේ කලාව, දිඹුල් දෙන, තුංගල්තොට, අක්කර 90, අක්කර 60 තාරාපොළ, පුබ්බාර වැනි ගම්මාන ආශ‍්‍රිතව බහුලවම මෙම වනාන්තර එළිපෙහෙළි කිරීම් සිදුවේ. මෙම වනාන්තර එළිපෙහෙළි කිරීමට විරුද්ධව සොබාදහම පිළිබඳ කි‍්‍රයාකාරී බෞද්ධ සහයෝගීතාවය, පරිසර යුක්ති කේන්ද්‍රය, ශ‍්‍රී ලංකා පරිසර සම්මේලනය හා අදාළ ප‍්‍රදේශවල ජනතාවගේ එකමුතුවෙන් නිර්මාණය වූ පරිසර සංගම්වල සංවිධානයෙන් නිල්ගල වනාන්තරයේ ගස් පැවිදි කිරීමේ උත්සවය සංවිධානය විය. මේ සඳහා අපද ඇතුළුව තවත් මාධ්‍ය ආයතන හා සිවිල් සංවිධාන කිහිපයකම කි‍්‍රයාකාරින් නිල්ගල වනාන්තරයට පැමිණ සිටි අතර මෙය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ආධ්‍යාත්මික පෙළඹවීමක් ලෙස විග‍්‍රහ කළ හැකි බව අපගේ මතය විය. මෙකී පෙළඹවීම සඳහා මූලිකත්වය පූජ්‍ය බදුල්ගම්මන සුමනසාර නාහිමි, කළු පහන පියරත්න හිමියන් විසින් දරනු ලැබීය. 

මෙම ගස් පැවිදි කිරීමේ කාර්යය ආරම්භ කිරීමට පළමුව එකී කටයුත්ත පිළිබඳ පැහැදිලි කිරීමට නිල්ගල වනාන්තරය තුළ කුඩා හමුවක් සංවිධානය කර තිබුණි. ඊට යම් ප‍්‍රමාණයක ජන සහභාගිත්වයක් තිබූ නමුත් එහි වූ ජනතාවගේ සම්පූර්ණ සහය ඉහත කී කටයුත්ත වෙත නොලැබෙන බවක් අපට හැඟී ගියේය. ඒ සහභාගි වී සිටි පිරිස අතරම පැන නැගි කසු කුසු හේතුවෙනි. ඒවායේ හරය වූයේ කැලේ කොටුකර විකුණන හොරුත් එක්ක මොන ගස් මහණ කිරීම් ද යන්නය. 

රැස්ව සිටි පිරිස අතරින් මතු වූ මේ කතාව කුමක්දැයි සොයා බැලීම වැදගත් බව අපටද හැඟී ගියේ ඉහත කටයුත්තේ ප‍්‍රාදේශීය නියමුවකු වූ මොරොන්දෑව, ගලහබැද්ද, දිඹුල් දෙන, අලූත්වෙල, දේවාලෙගොඩ, පඹවැල්කැටිය, තුන්ගල්කොට හා තාරපොළ ගම්වල පරිසර සංගම් නියෝජනය කරන ප‍්‍රධාන පෙළේ පරිසර ක‍්‍රියාකාරිකයකුගේ නමද ඊට ඈදී තිබුණු නිසාය. පරිසර සංරක්ෂණ කටයුත්තකට මූලිකත්වය ගෙන සිටින පිරිස් වෙතින්ම සංරක්ෂණයේ මුවාවෙන් පෙරළා පරිසරයට අවැඩක් සිදු වනවා නම් ඊට වඩා අවාසනාවක් තවත් තිබිය නොහැකිය. එහෙයින් අපි ගස් මහණ කරන කාර්යය අතරතුරදීම මේ කතාව ගැන ඇත්ත නැත්ත සොයාබැලීමට තීරණය කළෙමු. ඒ සඳහා වන ප‍්‍රවේශයක් ලෙස නිල්ගල ප‍්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් කිහිපදෙනෙකු වෙතින්ම ඒ ගැන විමසා බැලීමට අපි කටයුතු කළෙමු. 

‘මගේ නම -----. මහත්තයා මේ කැලේට අපි ආදරෙයි. මේ කැලේ අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ සිද්ධවෙන විනාසේ ගැන අපිට හරි වේදනයි. කවුරුත් මෙහෙ වෙන ඇත්ත නොදන්න එකයි ප‍්‍රශ්නය. කොළඹ මහත්තුරු මේවා දන්නේ නැහැ’ 

තමන්ගේ නම පුවත්පතෙහි සඳහන් වෙනවාට අකැමැති වූ නමුත් කරුණු හෙළිදරව් කිරීමට එකඟ වූ පුද්ගලයකු අප හා කතාබහ ආරම්භ කළේ එලෙසින්ය. 

‘ඔය ගස් මහණ කරන වැඩෙන් හොඳ එකක් වුණාට ඕකට මුල් වෙලා ඉන්න සමහර අය හොඳ අය නෙමෙයි. ඒ අයම තමයි ඔය කැලේ විනාශ කරන්න වැඩ කරන්නෙ. මෙහේ ඉන්නෙ ගොඩක් දුප්පත් මිනිස්සු. ඔය මුල් වෙලා ඉන්න අයට සල්ලි තියෙනවා. එයාලා කරන්නෙ මේ නිල්ගල කැලේ රැක ගන්න, ඒකට ආදරේ කරන අයට කෙණෙහිලිකම් කරන එක. ඇත්තටම එයාලා කැලේට ආදරයක් නෑ. එයාලට ඕනේ සල්ලි විතරයි. ඒ වගේ කැලේට ආදරේ නැති මිනිස්සු තමයි කැලේට ආදරෙයි කියලා පෙන්නගෙන ඒ කැලේ ආරක්ෂා කරන්න කියලා සිවුරු පොරවන්න හදන්නෙ’ 

‘ඔය වැඬේට මුල් වෙලා ඉන්න අය තරහ කරගන්න ගමේ කවුරුත් කැමැති නෑ. මොකද එයාලා තමයි ගමේ තදයෝ. සමහර අයට ඔය කැලෑ ඉඩම්වල පදිංචි වෙන්න අවසර තිබුණට මේ අය හදන්නෙ ඒක නැති කරලා දාන්න. මොකද එයාලගේ වැඩ කරන් යන්න ඒක බාධාවක් හින්දා. මෙහේ ඉන්න කැලේ මහත්තුරු පවා මේවා ගැන දන්නවා. එහෙත් එයාලා වුණත් වැඩිය මේ අය ගැන උනන්දු වෙන්නෙ නැත්තෙ මෙයාලට දේශපාලනඥයන්ගේ සම්බන්ධකම් තියෙනවා කියන කතා හින්දා වෙන්න ඇති. මෙහෙ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ ඉපදුණු මහ පොළොවේ බිම් අගලක්වත් අයිති නැති මනුස්සයෝ විදියට’ 

මෙම ගස් මහණ කිරීමේ අවස්ථාවේදී මේ පිළිබඳ නොසන්සුන් තත්ත්වයක් මතු වුවද එය එතරම් වෙලා පැවතුණේ නැත. එහිදී පැමිණ සිටි පිරිස මැදිහත් වී එම අවස්ථාව සමනය කළ බව දකින්නට ලැබුණි. අපද එම සිදුවීම දෑසින්ම දුටුවද ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකළේ සාමාන්‍යයෙන් හොඳ වැඩකදී වුවද කකුළෙන් අදින මිනිසුන් ලංකාවේ අඩුවක් නැති බැවිනි. නමුත් ඒ වෙනුවට නිල්ගල සැබැවින්ම සිදුවන්නේ කුමක්ද යන්න ප‍්‍රදේශයේ ජනතාව වෙතින්ම විමසා බැලීමට අපි තවදුරටත් කි‍්‍රයා කළෙමු. 

‘අපි ඔය කැලෑ එළිකරන්න ගිහින් නැහැ. කැලෑ කපනවට අපි විරුද්ධයි. ඔය ගස් මහන කරන වැඬේට ගමෙන් මූලිකත්වය අරන් ඉන්න සමහර අය මේ කැලේ පටන් ගන්න මායිමේ අක්කර 200ක් 250ක් අල්ලන් ඉන්නවා. අක්කර ‘90 කොටස’ පටන් ගන්න පැත්තට මායිම්ව තමයි එයාලගේ ඉඩම් තියෙන්නේ. එයාලා කරන්නේ ඔය ඉඩම් අල්ලගෙන කෑලි කරලා වෙන අයට විකුණන එක. ඒ අය ඕවා ගන්නෙ රුපියල් විසි, තිස් දාහට. මේ කැලේ වටින්නේ විසි, තිස් දාහක්ද මහත්තයෝ. අපි බුද්ධාගම. ඒත් අපිට මේ බිමේ උරුමයක් නැහැ. දැක්කද මේ වටේ තියෙන ගම් ගොඩැලිවල වැඩියෙන්ම ඉන්නේ මුස්ලිම් අය. අපේ සිංහල අය තමයි කැලෑ ඉඩම් කුණු කොල්ලයට මේ අයට විකුණන්නේ. පොලීසියට ගියාම පොලීසිය ගන්නෙත් සල්ලි තියෙන මිනිස්සුන්ගේ පැත්ත. අපිට සල්ලි නැහැ මහත්තයා, අපි දුප්පත් අසරණ මිනිස්සු. මටයි, මගේ පවුලටයි ළමයිටයි ජීවත් වෙන්න මගේ ඉඩම් කට්ටියවත් රැකලා දෙන්න කියලා මම ඉල්ලන්නේ. ඒ ඉඩමටත් ඔය කට්ටිය අරියාදු කරනවා. ඔය කැලේ රකිනවා කියන අයගේ ඉඩම්වල මායිම පෙන්නන්න මම එක්කන් යන්නම් ඕනනම්. හැබැයි ඒ ඉඩම්වල මායිම් එක දවසින් බලලා ඉවර කරන්න බැරිතරම් විසාලයි. කොළඹින් එන කාටවත් එයාලගේ අල්ලගත්ත ඉඩම් පැත්ත නොපෙන්වා වෙන තැන් තමයි පෙන්වන්නෙ. එයාලා ඒ පැත්තට කොළඹ මහත්තුරු අරගෙන යන්නේ නැහැ. වෙන එකක් තියා කැලේ හේනක් කපන්න, ඉඩමක් කොටු කරගන්න පවා එයාලගේ අවසරය ගන්න ඕනේ. එයාලා තමයි ගමේ චණ්ඩි. මිනිස්සු එයාලට බයයි. රෑට කට්ටිය දාලා කැලේට බෙහෙත් ගහලා කැලේ මරනවා. ඊට පස්සෙ තමා කැලේ කොටු කරන්නේ. අර කොල්ලොත් හාල් සේරුවක් ගෙදර අරන් යන්න තමයි ඒ වැඩ කරන්න යන්නෙ. මම කියන්නේ මහත්තයෝ ඇවිල්ලා මේ ගැන හරියට හොයලා බලන්න කියලා’ 

ඒ හඬ විටෙක හැඟීම්බරය. ඉකිගසනසුලූය. එහෙත් මෙය හැඟීම් මත තීරණ ගත යුතු අවස්ථාවක් ලෙස අප සලකන්නේ නැත. පසෙකින් චෝදනාවට ලක්ව සිටිනුයේ ‘ගස් මහණ කිරීමේ’ කාර්යයේ ප‍්‍රාදේශීය නියමුවන් පිරිසක්ය. පරිසර කි‍්‍රයාකාරින්ට නැගෙන මේ චෝදනා පිළිබඳ කරුණු විමසීමට පරිසර සංගම් එකමුතුවේ මවු සමිතියේ සභාපතිවරයාව සම්බන්ධ කරගැනීමට නිල්ගලදී අප අවස්ථා කිහිපයකදී උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත. නමුත් නිල්ගල ප‍්‍රදේශයෙන් පැමිණීමට පෙර අදාළ සභාපතිවරයාගෙන් කුඩා ප‍්‍රකාශයක් ලබාගැනීමට අපට හැකිවිය. 

‘මේ නිල්ගල කැලේ එළිකරන එක ගැන අපි සාකච්ඡුා කරලා තියෙනවා. මේක ගමේ අය නෙමෙයි කරන්නේ. පිටින් ඇවිත් මේක කරන්නේ. ඇමැතිතුමාටත් මම මේක කිව්වා. ඇමැතිතුමා කිව්වා මට මැදිහත් වෙලා මේක විසඳන්න කියලා’ 

සභාපතිවරයා අප වෙත ඉහත ප‍්‍රකාශය ලබාදී ඉවත්ව ගිය අතර අපි ඔහුගෙන් පසුව හෝ තොරතුරු විමසීමේ අරමුණින් දුරකතන අංකය ඉල්ලා ගත්තෙමු. ඒ අනුව පරිසර සුරැකීමේ ගම් මට්ටමේ නියමුවන් වෙත එල්ලවී තිබෙන චෝදනා පිළිබඳ කරුණු විමසීමට සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට දින දෙකක් මුළුල්ලේ උත්සහ කළද ඔහුගේ ජංගම දුරකතනය කි‍්‍රයා විරහිත කර තිබුණ බැවින් එය සාර්ථක වූයේ නැත. මේ සංගම්වල බලධාරින් හෝ ඔවුන්ට චෝදනා නගන්නන් කිසිවකුත් සමග අපේ පෞද්ගලික ඇයි හොඳයියක් හෝ කෝන්තරයක්ද නැත. එහෙත් මෙකී චෝදනාවේ සත්‍ය අසත්‍යතාව හෙළිදරව් කර ගැනීම අත්‍යවශ්‍යය. 

ඒ මෙම ජෛව පද්ධතීන් ආරක්ෂා වීම හා මිනිසුන්ටත් වන සතුන්ටත් යහපතක් සිදුවීම පිණිසය. මේ ඉඩකඩ ඒ වෙනුවෙන් වෙන් කිරීමට අප තීරණය කළේද එනිසාය. නමුත් කනගාටුදායක තත්ත්වය නම් වනනිලධාරින් ප‍්‍රදේශවාසීන් වෙත කැලය කැපීම ගැන චෝදනා කරන විට, සමහර ගම්වැසියන් එය පිටස්තර පුද්ගලයන් පිරිසකට බැර කිරීමය. මෙම ගම්මාන හරහා කැලයට ගොස් කැලය එළිකර නැවත පිටතට පැමිණීමට වෙනත් පාර්ශ්වයකට හැකිදැයි උභතෝකෝටිකයකි. එහෙත් ගම් වැසියන් පවසන්නේ ඔවුන් රාත‍්‍රී කාලයට සිදුවන මේ සිදුවීම් නොදන්නා බවය. මේ කතාවල පරස්පරතාවන් මතුවන්නේ එකී පසුබිමේය. මෙම පරස්පරතාවන් ලිහිල් කරගෙන ඊට කි‍්‍රයාමාර්ග ගැනීම බලධාරින් සතු කාර්යයකි. හරකුන්ගෙන් ගොයම රැක ගැනීමට තැනූ වැටත් නියරත් ගොයම් කයි නම් එය කියන්නට අපට වෙන කෙනෙක් නැත. 


ගමේ අයම තමයි මේවා කරන්නේ.
  • ටී.ඩබ්ලිව්. අප්පුහාමි බීට්ටු වනනිලධාරි - මැදගම


අපිට ඉල්ලීම් කරලා තියෙනවා 680 ගාණක් හේන් ඉඩම් දෙන්න කියලා. ඒකෙන් ඔක්කොම දෙන්න හැකියාවක් නැහැ. පාරම්පරිකව කරගෙන යන ඒවා විතරයි දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. අපි ඉඩම් නොදෙන බව දැනගෙන වෙන්න ඇති අවට ගම්වල මිනිස්සු එකපාරටම මේ කැලේ එළිකරන්නේ. ගමේ අය කිව්වට පිටින් ඇවිත් මේවා කරන්නේ කියලා කොහොමද එහෙම කරන්නේ? ගමේ අයම තමයි අපිට තියෙන තොරතුරු අනුව මේවා කරන්නේ. මේක සංවිධානාත්මකව කරන්නේ. ?ට තමයි ඔය ඉඩම් හාන එක කරන්නේ. එළිවෙන කොට යනවා. අපි නිතරම එනවා. ඒත් අපි එනකොට මේ අය යනවා. ජංගම දුරකතන තමයි මේකට හේතුව. ගමේ අයම තමයි අපි එනකොට ඒක කැලේ ඇතුළේ ඉන්න අයට කියන්නේ. ගස් කපන එක නෙමෙයි වෙන්නේ, වැඩියෙන්ම ඉඩම් අල්ලන එක තමයි වෙන්නේ. සමහර තැන්වල කැලේ කපන්නේ නැතුව ගිනිසීරියා හිටවනවා ගම්මිරිස් වගා කරන්න. මේක පිටිපස්සෙ ලොකු බලවේගයක් තියෙනවද මම දන්නෙ නැහැ. අපිට කැලේ කපලා අහුවෙච්ච අය මේ අවට ගම්වලම මිනිස්සු. අපි ඒ අයව උසාවි දාලා තියෙනවා. දැනට අපි හය හත්දෙනෙක් දාලා තියෙනවා. තව ඉදිරියටත් උසාවි දාන්න ඉන්නවා. මේක බරපතළව තිබුණ දෙයක් නෙමෙයි. දැන් තමයි බරපතළ විදිහට මේක තියෙන්නෙ. අපි නිතරම පොලීසිය එක්කත් එනවා. සංවර්ධනය වෙලා තියෙන ඉඩම්වලට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත‍්‍ර දෙනවා. හේන් ඉඩම් ගැන තමයි දැන් මේ අර්බුදය තියේනනේ. මේ දවස් කිහිපය තුළ තත්ත්වය පාලනය වෙලා තියෙන්නේ. ඉස්සර මේක වුණේ තනි තනිවම. දැන් එහෙම නෙමෙයි. සමූහ වශයෙන් සාකච්ඡුා කරලා තමයි මේක කරන්නේ. අපේ රාත‍්‍රී මුර සංචාර තියෙනවා. ගිනිඅවි තියෙනවා. වාහනයක් තියෙනවා. පහුගිය දවස්වල වාහනය අබලන් වෙලා තිබුණේ. දැන් ඒකත් අපි හදාගෙන තියෙන්නේ. ඔය සමහර අය අක්කර 200ක් වගේ අල්ලන් ඉන්නවා කියලා ගමේ මිනිස්සු කියනවා. මාත් ඒ ගැන අහලා තියෙනවා.







විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2014 ජනවාරි 19 වැනිදා ඉරිදා

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE