Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Wayamba University

  • by
වාසිටිය ලෙඩ කරන බහිරවයා කවුද?

රටක අනාගතය රඳා පවතින්නේ එම රටේ පාලන තන්ත‍්‍රයේ දැනුම හා පරිපාලන දක්ෂතාව මතය. කොතරම් දැනුමින් සන්නද්ධ පුද්ගලයෙකු වුවද අදක්ෂ පරිපාලකයෙකු නම් අදාළ ස්ථාන රියැදුරෙකු නොමැති දුම්රියක් මෙන් අයාලේ යෑම වැළැක්විය හැක්කක් නොවේ. මෙකී තත්ත්වය රටක පරිපාලනයේ සිට ගමේ කෝපි කඩයක් දක්වාම අදාළය. එසේ තිබියදී රටක දැනුම් කෝෂ්ඨාගාරයක් වන විශ්වවිද්‍යාලවල පරිපාලනය මනා ලෙස නොපවතියි නම් රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කිරීම වැනි කතා දවල් සිහින වීම වැළැක්විය නොහැකිය. අප මෙවැනි පූර්විකාවක් යොදාගත්තේ මෙරට ව්‍යාපාරික හා මුල්‍ය ක්ෂේත‍්‍රයට උපාධිධාරින් බිහිකරන වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ තවමත් විසඳී නැති පරිපාලන අර්බුදය හමුවේ අනාරක්ෂිත වන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විශ්වාසය ගැන කතා කරන්නටය.

සැබැවින්ම වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ‍්‍රයේ පවත්වාගෙන යන ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ උද්ගත වී ඇති පරිපාලන අර්බුදයක් පිළිබඳ කාලයක් තිස්සේම ‘රන්දිව’ වෙත තොරතුරු ගලා එන්නට විය. මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමය.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට නව විශ්වවිද්‍යාලයක් ලෙස වයඹ විශ්වවිද්‍යාලය එක්වන්නේ 1999 වසරේදීය. එහිදී විශ්වවිද්‍යාලයේ ආරම්භයත් සමගම ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨය පිහිටුවීය. 1999 වසරේ ඔක්තෝබර් පළමුවැනි දින එය අධ්‍යයන කටයුතු සඳහා එය විවෘත කෙරුණු අතර 1999 අගෝස්තු 17 වැනි දින 1093/8 යන ගැසට් පත‍්‍රය මඟින් මේ සඳහා වන නෛතික බලාත්මකත්වය ලැබුණි. නමුත් ආරම්භ කර වසර තුනක් ගතවනවිට වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ අර්බුද පැනනගින්නට විය. මේ වනවිට එකී අර්බුදයන් වසර දහයකටත් වැඩි කාලයක සිට වර්ධනය වී විශාදයක් දක්වා ඔඩු දුවා හමාරය.

දිගින් දිගටම වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයට එල්ල වූ චෝදනා සොයා බැලීමට 2007 වසරේදී විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මඟින් කමිටුවක් පත්කරන්නේ මේ අනුවය. මෙම කමිටුව විසින් සමස්ත වයඹ විශ්වවිද්‍යාලයේම අධ්‍යයන හා පරිපාලන ගැටලූ පිළිබඳ විශ්වවිද්‍යාලයට සම්බන්ධ සියලූම පාර්ශ්ව සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව 2007 වසරේ සැප්තැම්බර් මසදී වයඹ විශ්වවිද්‍යාලයේ පවතින ගැටලූ සඳහා දිගුකාලීන විසඳුම් සඳහා වන නිර්දේශ මාලාවක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කළද එම යෝජනා බොහොමයක් සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත්තේ මේ වනවිටත් එම අර්බුදකාරී වාතාවරණය එලෙසම පවතින නිසාය.

වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ උද්ගත වූ තත්ත්වය හමුවේ පෙර අප සඳහන් කළ කමිටුවේ පළමු නිර්දේශය වූයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා එම තනතුරින් ඉවත්කිරීමය. එයට ප‍්‍රධාන හේතුව ලෙස කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා මෙන්ම ‘ව්‍යාපාර පරිපාලන ශාස්ත‍්‍රපති (MBA) ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා යන තනතුරු දෙකම එකවර දැරීමට හැකියාවක් නොමැති බවයි. එකී නිර්දේශය ප‍්‍රකාරව ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා එම තනතුරින් ඉවත්කර නව පීඨාධිපතිවරයෙක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් පත්කළද නව අංශාධිපතිවරයාට එම තනතුරේ වැඩි කාලයක් කටයුතු කිරීමට හැකියාව ලැබුණේ නැත. යළිත් පළමු පීඨාධිපතිවරයාම එම තනතුරට පත්වූ අතර දිගින් දිගටම එම පුද්ගලයා පීඨාධිපති තනතුරත් MBA වැඩසටහනේ අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කරමින් සිටින්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ වාර්තාවටත් එරෙහිව යමිනි. එසේම මෙම පුද්ගලයාට විරුද්ධව නැගෙන චෝදනා රාශියකි.

ඉන් පළමුවැන්න නම් වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපති ධුරය හා ‘ව්‍යාපාර පරිපාලන ශාස්ත‍්‍රපති’ වැඩසටහනේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කිරීමය.

දෙවැන්න නම් කුරුණෑගල 'Blue Sky'  හෝටල් පරිශ‍්‍රයේදී පවත්වාගෙන යන වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයට අනුබද්ධ ‘ව්‍යාපාර පරිපාලන ශාස්ත‍්‍රපති’ වැඩසටහනේ විෂයයන් දහයකින් අටක් පමණ ඉගැන්වීමේ යෙදෙමින් වැඩසටහනේ ගුණාත්මකභාවය අවදානමකට ලක් කිරීමයි. මෙම ඇතැම් විෂයයන් සඳහා දේශකවරයා ලෙස කටයුතු කළද ඒ විෂයයන් සඳහා සාර්ව දැනුමක් ඔහුට නොමැති බවටද චෝදනා එල්ල වන අතරම මෙම දේශන පැය දොළහක් පමණ දිගු කාලයක් යටතේ සංවිධානය කර තිබීමෙන් අධ්‍යයනය කරන්නන් අපහසුතාවට පත් කිරීමද ඒ යටතේම එල්ල වන චෝදනාවන්ය.

ඊළඟ චෝදනාව ලෙස ඉදිරිපත් වන්නේ තමන්ට එරෙහිව කටයුතු කරන සිසුන්ගෙන් පලිගැනීම හා පක්ෂපාතී සිසුන්ට අනවශ්‍ය ලෙස උපකාර කිරීමයි.

එසේම මෙම පුද්ගලයා වයඹ කාර්මික සංවර්ධන මණ්ඩලය සමග එක්වී උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇති අතර මෙය ප‍්‍රචලිත කර ඇත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ අනුමැතිය සහිත පාඨමාලාවක් ලෙසය. නමුත් මේ සඳහා වයඹ විශ්වවිද්‍යාලයේ කිසිදු අනුමැතියක් හිමිවී නොමැති බවටද චෝදනා එල්ල වේ.

කුරුණෑගල 'Blue Sky' හෝටල් පරිශ‍්‍රයේදී පවත්වාගෙන යන ‘ව්‍යාපාර පරිපාලන ශාස්ත‍්‍රපති’ වැඩසටහනට පීඨයේ පරිපාලනය සම්බන්ධ බොහෝ පිරිස් සිසුන් ලෙස සහභාගි වන නිසා මෙම පුද්ගලයාට එරෙහි වීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බවත් ඔහුගේ අණට කීකරු වීමට සිදුවී ඇති බවත් ඊළඟට එල්ල වන චෝදනාවයි. එනම් මේ බලය අයුතු ලෙස භාවිත කිරීමකි. මෙහි සුවිශේෂීම කරුණ නම් ‘ව්‍යාපාර පරිපාලන ශාස්ත‍්‍රපතිි’සහතික පත‍්‍රය අත්සන් තබන රෙජිස්ට‍්‍රාර්වරයාද එම පාඨමාලාවේ සිසුවෙකු වීමයි. එහිදී අදාළ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් තමාගේ සහතිකය තමා විසින්ම අත්සන් තබා ගැනීම වැනි චෝදනා මතු කරන්නේ එම පාඨමාලාවේ පවතින අසංවිධානාත්මකභාවය මිස අන් කුමක්දැයි ඇසිය යුතුව තිබේ.

මෙම තත්ත්වය හමුවේ වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා මෙකී චෝදනාවලට ‘රන්දිව’ ගවේෂණ හමුවේ පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළේ තමන් මෙකී කිසිදු චෝදනාවකට වරදකරුවෙකු නොවන බවත් තමන් පිරිසුදුව කටයුතු කරන බවත්ය. එසේම වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ කිසිදු අර්බුදකාරී තත්ත්වයක් නොපවතින බවය.

පීඨාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළද වසර ගණනක් තිස්සේම පීඨාධිපතිවරයාට එරෙහිව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට විශ්වවිද්‍යාලයට සම්බන්ධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වේ.

වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලය විසින් 2004 වසරේ ජුනි මස 25 වැනි දින ‘ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම’ යන දාතම යටතේ වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට යවන ලිපියක් මඟින් පීඨාධිපතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපය ප‍්‍රශ්න කරනු ලබයි. මෙම ලිපිය මඟින් පීඨාධිපතිවරයාට එරෙහිව චෝදනා අටක් ඉදිරිපත් කරන අතර එම චෝදනා ඔප්පු කිරීමේ භාරය එකී ආචාර්ය මණ්ඩලය විසින්ම පවරාගෙන ඇත. ඒ තුළ පීඨාධිපතිවරයාට මේ චෝදනා එල්ලකර ඇත්තේ මේ ආකාරයටය.

1. ආචාර්ය මණ්ඩලයට සිසුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩලය ඉදිරිපිට ඉතා නින්දිත ලෙස බැන වැදීම.
2. දේශන පැවැත්වෙන අතරතුර දේශන ශාලාවට පැමිණ ශිෂ්‍යයන් ඉදිරිපිට ආචාර්යවරුන් විවේචනය කිරීම.
3. දේශකවරුන් හා ශිෂ්‍යයන් අතර පවතින සුහදතාව බිඳවැටෙන ආකාරයෙන් කටයුතු කිරීම.
4. ඇතැම් භෞතික හා මානව සම්පත් සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට බාධාවන පරිදි පීඨාධිපතිවරයා සන්තකයේ තබාගැනීම.
5. පීඨ මණ්ඩල රැස්වීම් නියමිත පරිදි නොපැවැත්වීම හා පවත්වනු ලබන රැුස්වීම්වලදීද වැදගත් කරුණු යටපත් වන ආකාරයෙන් අනවශ්‍ය කරුණුවලට ප‍්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීම.
6. පීඨ මණ්ඩල රැස්වීම්වලදී ආචාර්යවරුන්ට අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම හා ආචාර්යවරුන් විකල්ප අදහස් ඉදිරිපත් කරනවිට එම අදහස් යටපත් කිරීමේ අභිලාෂයෙන් ආචාර්යවරුන් පිළිබඳ සාවද්‍ය පෞද්ගලික කරුණු ඉදිරිපත් කරමින් බැන වැදීම.
7. සිසුන්ට ඉතා නින්දිත ආකාරයෙන් බැන වැදීම සහ ඔවුන්ගේ ගැටලූවලට නිසි ප‍්‍රතිචාර නොදැක්වීම.
8. විශ්වවිද්‍යාලයේ අනෙකුත් සහෝදර පීඨ හා උපකාරක අධ්‍යයන ඒකක සමග සුහදතාවයෙන් කටයුතු කිරීමට අපහසු වන අයුරින් කටයුතු කිරීම.

වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපතිවරයාම ප‍්‍රකාශ කරන අන්දමට ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහළම ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයක් වන වයඹ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ මෙතරම් ඔඩු දුවා ඇති අර්බුද රාශියක් තිබියදී පරීක්ෂණ කටයුතු සිදුනොවන්නේ කුමන ආශ්චර්යයක් නිසාදැයි අපි නොදනිමු. ඒ අතරම මෙකී පසුබිම තුළම MBA පාඨමාලාව සම්බන්ධයෙන් සිදුකරන ලද විගණන වාර්තාවත් මේ වනවිට අස්ථානගතව ඇතිමුත් ඒ පිළිබඳ වගකිව යුතු කිසිදු පාර්ශ්වයකින් විමසීමක් සිදු නොවීමත් කනගාටුදායකය. මෙකී පීඨාධිපතිවරයාට පවතින්නේ සැඟවුණු චෝදනා පත‍්‍රයක් නොවේ. එය ප‍්‍රසිද්ධියට පත්වූ චෝදනා පත‍්‍රයක් වන අතර එය ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි පවතින බවට චෝදනා එල්ල කරන පාර්ශ්ව ප‍්‍රසිද්ධියේ සඳහන් කරයි. අප මෙහිදී අවධාරණය කර සිටිනුයේ වැඩි යමක් නොව අවම වශයෙන් ආචාර්ය මණ්ඩලය ලිපියක් මඟින් ප‍්‍රසිද්ධියේ නගා ඇති චෝදනාවලට අදාළවත් විනිවිද භාවයකින් යුතු පරීක්ෂණයක් සිදුකිරීම කාට කාටත් යහපතක් මිස අයහපතක් නොවන බවය.

එසේම ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨය ආරම්භ කිරීමට මුල්වීමට අදාළ කාර්යභාරය වෙනුවෙන් වත්මන් පීඨාධිපතිවරයාට පැසසුම් ලබාදීමට අප පැකිළෙන්නේ නැත. එහෙත් උගත් මහාචාර්යතුමාට මෙන්ම වයඹ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ ඉහළ පරිපාලන පුටුවලට අපි මෙවන් පණිවුඩයක් ලබාදීමට කැමැත්තෙමු. ජාතක කළ මවටවත් තම දරුවා මරා දැමීමට නීතියෙන් ඉඩක් නැතුවා සේම තමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ පමණින්, ඒ නිසාමම ඒ තුළ ඕනෑම බල්ටියක් ගැසීමටද නීතියෙන් ඉඩක් නොමැත. මෙහිදී නීති පසෙක තබා අප මෙම සිහිකැඳවීම කරනුයේ ආචාරධර්මික ප‍්‍රශ්නයක් ලෙස ගෙන මෙය කඩිනමින් විසඳාගන්නා ලෙසය. ඒ ඔබලා සියල්ලන්ටම වඩා විද්‍යාර්ථයන්ගේ රටේ අනාගත දරු පරම්පරාවේත් යහපත උදෙසාය.



නන්දන කුමාර නේද මේවා ඔයාලට කිව්වේ?
  • මහාචාර්ය ඊ. එස්. වික‍්‍රමසිංහ පීඨාධිපති - ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨය ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.
  • 2007 වසරේදී වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන ගැටලූ පිළිබඳ සොයා බැලීමට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පත්කරපු කමිටු වාර්තාව නිර්දේශ කරනවා ඔබතුමාව පීඨාධිපති තනතුරින් ඉවත් කළ යුතුයි කියලා. නමුත් ඔබ තවමත් ඒ තනතුර දරනවා?
  • මාව ඉවත් කළේ නැහැ. අවුරුදු තුනෙන් තුනට අපි මේ තනතුරට පත්කරන්න සභාවකින් ඡුන්දය විමසනවා. මම අවුරුදු 3ක් හිටියා. ඊට පස්සේ ආයෙ 3ක් හිටියා. ඊට පස්සේ පොඞ්ඩක් බැහැරව හිටියා. ඊට පස්සේ ආයෙත් පත්වුණා.
  • ඔබතුමා පීඨාධිපති තනතුර හා MBA පාඨමාලාවේ අධ්‍යක්‍ෂ කියන තනතුරු දෙකම දැරීම නේද වාර්තාව ඉවත් කරන්න නිර්දේශ කරන්න හේතුව?
  • මම තමයි ඔය MBA පාඨමාලාව හැදුවේ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල සම්ප‍්‍රදාය තමයි පාඨමාලාව හදන පුද්ගලයා එහි අධ්‍යක්‍ෂවරයා වීම. එහෙම තමයි මම ඒ තනතුරට පත්වෙන්නේ. හැබැයි පීඨාධිපති කියන තනතුරට වසර තුනෙන් තුනට නැවත නැවත තේරී පත්වෙන්න ඕනෙ. අනික ඔය යෝජනාවේ තිබුණේ මම එක තනතුරක් දරනවා නම් හොඳයි කියලා. ඒ මට වැඩ වැඩි නිසා. මේ පීඨය පටන් ගත්තෙත් මම තනියම. මම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටියේ. ආණ්ඩුවෙන් තමයි මට එන්න කිව්වේ. ඇවිත් මම පිීඨාධිපති වුණා. ඇවිත් ටික කාලයකින් මම MBA කියලා පාඨමාලාවක් පටන් ගත්තා.
  • එතකොට මෙම MBA පාඨමාලාවේ දේශන පවත්වාගෙන යන්නේ කුරුණෑගල Blue Sky කියන හෝටලයේද?
  • ඔව්. ඔතැනදී තැනක් අපි තෝරගන්නේ ටෙන්ඩර් කැඳවලා. ටෙන්ඩර් පටිපාටිය අනුව තමයි තැන තෝරගත්තේ. තැන තෝරන්නේ මම නෙමෙයි, ඒ සඳහා ටෙන්ඩර් කමිටුවක් තියෙනවා.
  • ඔබතුමාගේ විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරිනුත් මේ පාඨමාලාව හදාරනවද? 
  • සුදුසුකම් සපුරලා තියෙන ඕනෑම කෙනෙක්ට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්.
  • මේ MBA පාඨමාලාව හැදෑරීම අවසන් කරන කෙනෙකුට ඔබතුමාගේ විශ්වවිද්‍යාලයෙන් සහතිකයක් නිකුත් කරනවාද? 
  • ඔව්.
  • එම සහතිකය අත්සන් කරන්නේ රෙජිස්ට‍්‍රාර්වරයෙක්ද? 
  • ඔව්.
  • මේ MBA. පාඨමාලාවම හදාරන රෙජිස්ට‍්‍රාර්වරයෙකු විසින්ම මේ සහතික අත්සන් කරලා තියෙනවා කියලා තැනක් තියෙනවා. එතැනදී ඒ රෙජිස්ට‍්‍රාර්වරයාගේ සහතිකයත් ඔහු විසින්ම අත්සන් තබලා නම් එය අර්බුදයක් නේද
  • දැන් ඉන්න රෙජිස්ට‍්‍රාර්වරයා නම් හදාරන්නේ නැහැ. මීට පෙර කෙනෙක් හිටියා. එයා පාඨමාලාව හැදෑරුවා. නමුත් ඒ කාලය තුළ එයා තනතුරින් ඉවත් වෙලා හිටියේ.
  • කුරුණෑගල අධ්‍යාපන ආයතනයක් සමග කිසියම් පාඨමාලාවක් ආරම්භ කරලා තියෙනවද?
  • නැහැ. පාඨමාලාවක් ආරම්භ කරන්න උත්සහ කළා. ඒක හරි ගියේ නැහැ. නමුත් පටන්ගන්න උත්සහයක් තියෙනවා.
  • ඔබගේ පීඨයේ ළමයින්ට කිසිදු ගැටලූකාරී තත්ත්වයක් මතුවෙලා නැද්ද?
  • ගැටලූවක් නම් මම දන්න තරමින් නැහැ.
  • මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ ශිෂ්‍ය සංගම් ක‍්‍රියාත්මක වෙනවද? 
  • නැහැ.
  • ඒක පරිපාලනය විසින් පනවපු තහනමක් නිසා සිද්ධ වුණ දෙයක්ද?
  • ශිෂ්‍ය සංගම්වල නිලධාරින් පත්කරන්න නාමයෝජනා කැඳවන්නේ උපකුලපතිවරයා විසින්. ඒ කාලය තුළ නාමයෝජනා භාරදෙන්න ශිෂ්‍යයන්ට නොහැකි වුණ නිසා තමයි ශිෂ්‍ය සංගම් නැත්තේ. නමුත් යම් තීරණයක් ගන්න ඕන වුණාම අවසන් වසරේ ශිෂ්‍යයන් දෙන්නෙක්ට වැඩි ගණනක් අපි කැඳවීමක් කරනවා. අපි හඳුනාගන්නා ශිෂ්‍යයන් පිරිසක් ඉන්නවා. බොහෝ වෙලාවට ඔවුන්ව තමයි කැඳවන්නේ. හැබැයි ඒ නිල වශයෙන් නම් නෙමෙයි.
  • ඉන්පසු අප සූදානම් වූයේ පීඨාධිපතිවරයා සමග සාකච්ඡුාව අවසන් කර දුරකතනය විසන්ධි කිරීමටයි. නමුත් පීඨාධිපතිවරයා විසින් පෙරළා අපට ගැටලූවක් යොමු කළේය.
  • පීඨාධිපති - කවුද මේ ගැන ඔයාලට කිව්වේ? ළමයිද? ළමයි වෙන්න බැහැ. ළමයි එහෙම කියන්න හේතුවක් නැහැ.
  • රන්දිව - අපිට තොරතුරු ලැබෙන මූලාශ‍්‍ර ඔබතුමාට හෙළිකිරීමේ හැකියාවක් අපට නැහැ.
  • පීඨාධිපති - ඒ ගැන මට ප‍්‍රශ්නයක් නැහැ. මම දන්න විදිහට එහෙම අර්බුදයක් අපේ විශ්වවිද්‍යාලයේ නැහැ.
  • දැන් ඔය එක මනුස්සයෙක් ඉන්නවා නන්දන කුමාර කියලා. ඒ මනුස්සයා තමයි ඔබතුමාලට මේ ගැන කියන්න ඇත්තේ. මම අවංකවම වැඩ කරනවා. දවස් තුන්සිය හැටපහම යනවා. විශාල කැපකිරීමක් කරලා තමයි පීඨය හදලා තියෙන්නේ. අවශ්‍ය නම් හොයලා බලන්න මොන අඩුපාඩුද මෙහේ තියෙන්නේ කියලා. අපි දන්න විදිහට ජයවර්ධනපුර ඇරුණහම හොඳම පීඨය මෙහේ තමයි.

මං ආවට පස්සෙ චෝදනා ඇවිත් නෑ.
  • මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම සභාපතිනි - විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව.

  • ඔය 2007 නිකුත් කරපු වාර්තා ගැන මට කිසිම දෙයක් කියන්න බැහැ. මම මේ තනතුරට පත්වුණේ 2013 පෙබරවාරි 01 වැනිදා. එදායින් පස්සේ වයඹ ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහැ. පීඨාධිපති හා MBA පාඨමාලා අධ්‍යක්‍ෂ කියන තනතුරු දෙකම දරන්න නීතිමය බාධාවක් නැහැ.


විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2013 දෙසැම්බර් 29 වැනිදා ඉරිදා

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE