Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

එංගලන්තේදී කොටුවූ, රට කැත කළ හොරු.

  • by

එංගලන්තේදී කොටුවූ, රට කැත කළ හොරු.


හීත්රෝ ගුවන් තොටුපොළ පසුගිය ජනවාරි 30 වැනිදා ද සුපුරුදු පරිදි දෛනික කටයුතුවල නිරත වන්නන්ගෙන් පිරී තිබුණි. කවදත් කාර්යබහුල ගුවන් තොටුපොළක් වූ හීත්රෝ ගුවන් තොටුපොළේ සුපුරුදු පරිදි අනිත් අය ගැන විමසිලිමත් වීමට ඉඩ තිබුණේ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයට පමණි. ඔවුන් ද සිදු කළේ තම දෛනික රාජකාරිය ඉටුකිරීමය. නමුත් මේ අතර තවත් දෙපිරිසක් සූදානමින් සිටියේ විශේෂ මෙහෙයුමකටය. එයින් එක් කණ්ඩායමක් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජර්මන්, ස්විස්ටර්ලන්ත හා යුරෝපා පොලිස් කණ්ඩායම් එක්ව නිර්මාණය වූ පොලිස් බල ඇණියකින් සමන්විත විය. අනෙක් කණ්ඩායම ශ‍්‍රී ලාංකිකයන් සිවු දෙනෙකුගෙන් සහ එක් බි‍්‍රතාන්‍ය ජාතිකයකුගෙන් සමන්විත වූ මිනිස් ජාවාරම්කාර කල්ලියකි. අපරාධ කල්ලිය තම කටයුතු කිසිදු සැකයකින් තොරව කරගෙන ගියේ තමන් පිළිබඳ සුළු වශයෙන් හෝ ආරක්ෂක අංශවලට ඉවක් වැටීමට ඉඩ නොතබාය. එතැන් පටන් ජාවාරම්කරුවන් සුපුරුදු මිනිස් ජාවාරම මෙහෙයවමින් සිටි අතරතුර සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරින් ඔවුන් අත්අඩංගුවට ගනිද්දී අපරාධ කල්ලියේ ජාවාරම්කරුවන් පමණක් නොව ගුවන් තොටුපොළ ආරක්ෂක බලධාරින් පවා විමතියට පත් විය. මෙම පිරිසට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ මිනිස් ජාවාරම් කටයුතු කිරීමයි. එනම් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ව නීති විරෝධීව බි‍්‍රතාන්‍යයට සංක‍්‍රමණය කරවීමය.



මොවුන් වසර ගණනාවක සිට මෙකී ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර මේ නිසාම රටවල් ගණනාවකම ආරක්ෂක අංශවලට මොවුන්ගේ මෙකී කටයුතු හිසරදයක් වී තිබිණ. එනිසාම මෙම ජාවාරම්කරුවන් කෙසේ හෝ කොටුකරගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබිණ. එහෙත් ඒ වෙනුවෙන් දියත් කළ බොහෝ මෙහෙයුම් සාර්ථක වූයේ නැත. ඒ ජාවාරම්කරුවන්ගේ වූ සූක්ෂ්ම ක‍්‍රියාමාර්ග ආරක්ෂක අංශවලට වඩා ඉදිරියෙන් තිබූ නිසාය. බි‍්‍රතාන්‍ය පොලීසියද මෙකී ජාවාරම්කරුවන් කොටුකරගැනීමට කිහිපවරක්ම උත්සහ දැරුවද එය සාර්ථක ප‍්‍රයත්නයක් වූයේ නැත. අවසානයේ බි‍්‍රතාන්‍ය පොලිස් බලධාරින් ලන්ඩන් පොලිස් මූලස්ථානයේ පැවති සාකච්ඡුාවකින් පසු තීරණය කළේ මේ සඳහා යුරෝපා රටවල් කිහිපයකම උපකාරය ලබාගත යුතු බවය. ඒ අනුව බි‍්‍රතාන්‍ය පොලීසිය ප‍්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය හා යුරෝපා සංගමය සමග ඒ වෙනුවෙන් 2013 වසරේ මුල් භාගයේ සාකච්ඡුා ආරම්භ කර ඇති අතර ඒ සඳහා එකඟතාවකට සියලූ පාර්ශ්ව පැමිණෙන්නේ 2013 වසරේ මැද භාගයේදීය. ඒ ජාවාරම්කරුවන්ගේ තිප්පොළක්ව පවතින බි‍්‍රතාන්‍යයේ කෙන්ට් වරායේ කළ සාකච්ඡුාවකින් අනතුරුවය.

ඉහත ආකාරයෙන් සිදුවූ රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමේ එකඟතාවයෙන් අනතුරුව මෙම මෙහෙයුමට පොලිස් බල ඇණිවලට අමතරව බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශවලද දායකත්වයෙන් පළමු වරට මෙහෙයුමක් දියත් කෙරෙන්නේ 2013 ඔක්තෝබර් මාසයේදීය. ඒ කෙන්ට් වරායට පැමිණෙන කන්ටේනරයක අනවසර සංක‍්‍රමණිකයන් පිරිසක් සිටින බවට බි‍්‍රතාන්‍යය රහස් පොලීසියට ලැබුණු හෝඩුවාවකට අනුවය. මෙම හෝඩුවාව බි‍්‍රතාන්‍ය පොලීසිය වෙත ලැබෙනුයේ අදාළ නෞකාව වරායට සේන්දු වීමට සති කිහිපයකට පෙරය. ඒ අනුව බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජර්මන්, ස්විස්ටර්ලන්ත හා යුරෝපා ඒකාබද්ධ පොලිස් බල ඇණි මෙම නීති විරෝධී සංක‍්‍රමණික පිරිස හා ජාවාරම්කරුවන් කොටුකරගැනීමට සැලසුම් සකස් කළ අතර විශේෂ ආරක්ෂාවක් ද ඒ සඳහා යෙදවීය. එසේම මෙම මෙහෙයුම පිළිබඳ කිසිදු තොරතුරක් තෙවැනි පාර්ශ්වයක් අතට නොයාමට වගබලා ගැනීමටද එම ආරක්ෂක අංශ කටයුතු යෙදීය. කෙසේ හෝ එම මෙහෙයුම තුළදී ආරක්ෂක අංශවල අරමුණ වූයේ සංක‍්‍රමණිකයන් පිරිස හා ජාවාරම්කරුවන් පිරිස නෞකාව තුළදීම කොටුකර ගැනීමටය. නමුත් පොලිස් බලඇණි නෞකාව වටලන විටත් සංක‍්‍රමණිකයන් පිරිස කන්ටේනර් තුළින් ඉවත්කර ගැනීමට තරම් එදින මිනිස් ජාවාරම්කරුවන් සූක්ෂ්මව තිබුණි. එහෙත් එම සංක‍්‍රමණිකයන් වරායට නුදුරු ප‍්‍රදේශයකදීම ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ පොලිස් කණ්ඩායම්වල යුහුසුළු කි‍්‍රයා කලාපය හේතුවෙනි. නමුත් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් කිසිවෙකු කොටුකරගැනීමට පොලීසියට නොහැකි වන්නේ ඔවුන් ද ඉතාම ප‍්‍රවේශමෙන් මෙම ජාවාරමේ කි‍්‍රයාවලීන් සංවිධානය කර තිබූ නිසාය. 


මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගත් අනවසර සංක‍්‍රමණිකයන් පිරිස අතර සිටි බොහෝ දෙනෙක් බි‍්‍රතාන්‍ය පොලීසිය වෙත ලබාදුන් ප‍්‍රකාශයන් සියල්ලකම පාහේ තිබුණේ එකම කතාවකි. ඔවුන් සියල්ලන්ගෙන්ම ලක්ෂ 8ත් 10ත් අතර ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේදීම අයකරගැනීමට මෙම ජාවාරම්කරුවන්ට මිනිසුන් සපයන ශ‍්‍රී ලංකාවේ සිටින තැරැව්කරුවන් කටයුතු කර තිබුණි.

‘මම මුලින්ම ඉතාලියට යන්න හිටියේ. ඒත් බෝට්ටුවලින් ගිහින් මිනිස්සු අතරමං වෙනවා. සමහර අය මුහුද මැද්දේම මැරෙනවා කියලා කියන කතා නිසා මම ඉතාලි යන එක අතහැරියා. අපිට කොහොමත් යුද්දෙත් ඉවර නිසා වීසා අරන් පිටරට යන එක අමාරුයි. ඒකට ට‍්‍රයි කරලා වැඩක් නැති නිසා තමයි විකල්පයක් හෙව්වේ. අන්තිමට තමා කන්දයියාව මට හම්බවුණේ. එයා ගැන මුල ඉඳලම මට විශ්වාසයක් තිබුණා. මොකද එයා ගොඩක් ළෙන්ගතු විදිහට තමයි කතා කරේ. අනික බෝට්ටුව වගේ නෙමෙයි, කන්දයියා අපිව යුරෝපෙට ගෙනියනවා කිව්වේ නැවක. නැවේ යනවා කිව්ව නිසා මම බය වුණේ නැහැ. ඒත් අපි අන්තිම වෙලාවේ තමයි දැනගත්තේ නැවක තියෙන කන්ටේනර් එකක් ඇතුළට බැහැලා තමයි අපිට එංගලන්තයට යන්න වෙන්නේ කියලා. කොහොම හරි අපි එංගලන්තයට ගිහින් වරායෙන් එළියට එනකොට තමයි පොලීසියට අහුවුණේ. එහෙම අහුවුණේ නැත්නම් අපි තවම එංගලන්තයේ’ 

ඒ ජාවාරම්කරුවන්ට හසුව අනවසරයෙන් බි‍්‍රතාන්‍යයට ඇතුළුවීමට උත්සහ කිරීමේ චෝදනාව මත නැවත පිටුවහල් කරන ලද පුද්ගලයකු අතීත අත්දැකීම සිහිපත් කරන ආකාරයයි. නමුත් ඔවුන් නීති විරෝධී සංක‍්‍රමණිකයන් ලෙස බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමේදී ඔවුන් වෙත ලබාදී තිබුණේ එවැනි ප‍්‍රකාශයක් නොවේ. 

‘ඒත් අපිව අහුවුණාම අපි එංගලන්තයේ පොලීසියට කිව්වේ වෙනම කතාවක්. එයාල දන්නවා මෙහෙ යුද්ධයක් තිබුණා කියලා. අපිත් දෙමළ කියලා ඒ අය දන්නවා. ඒ නිසා මම ඒ අයට කිව්වේ, ලංකාවේ හරියට අපිට කරදර තියෙනවා. මගේ පවුලේ ගොඩක් අය හමුදාවෙන් මැරුවා. මම ජීවිතේ බේරගන්න තමයි මෙහෙට ආවේ. මට ලංකාවේ තිබුණ හැමදෙයක්ම කුණුකොල්ලයට විකුණලා ආවේ. ලංකාවේ ආයෙ මට කිසිම දෙයක් නැහැ. ආපහු එහෙට යවන්න එපා, අපිව මරයි කියලා’ 

සැබැවින්ම බි‍්‍රතාන්‍ය පොලිස් පොත්වල ලියැවෙන අනවසර සංක‍්‍රමණිකයන්ගේ බහුතර ප‍්‍රකාශයන් පිරී තිබෙන්නේ ඉහත අප උපුටා දැක්වූ පුද්ගලයාගේ ප‍්‍රකාශය පන්නයේ කතාවලින්මය. 

කෙසේ හෝ වේවා 2013 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු කළ මෙහෙයුමේදී බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශවලට ජාවාරම්කරුවන්ව අත්අඩංගුවට ගැනීමට ඉඩකඩ නොලැබුණ නිසාම එය යළි යළිත් සිදු වෙමින් තිබිණ. අනවසර සංක‍්‍රමණ හේතුවෙන් යුරෝපියීය රටවල ආරක්ෂක අංශවලට තිබූ හිසරදයද එනිසාම අඩුවක් නොවී පැවතිණ. බි‍්‍රතාන්‍යයේ කෙන්ට් වරාය පමණක් නොව තවත් රටවල් ගණනාවකම වරායන් රැසක් මෙම මිනිස් ජාවාරම්කරුවන්ගේ තිප්පොළවල් වී තිබෙන නිසා ප‍්‍රංශයේ කාලයිස් වරාය ආශ‍්‍රිතව මෙහෙයුම් දියත්කිරීමට මෙම ඒකාබද්ධ බලඇණි තීරණය කර තිබුණි. 

 අනවසර සංක‍්‍රමණිකයන් ප‍්‍රවාහනය කිරීම ගැන පරීක්ෂණ කළ ආරක්ෂක අංශවලට ඒ ගැනවන තවත් හෝඩුවාවක් ලැබෙනුයේ 2013 වසරේ දෙසැම්බර් මාසයේදීය. ඒ අනවසර සංක‍්‍රමණිකයන් රැගත් නෞකාවක් ප‍්‍රංශයේ කාලයිස් වරායට සේන්දුවීමට නියමිතව ඇති බවය. ඒ අනුව බි‍්‍රතාන්‍ය හා ඒකාබද්ධ පොලිස් බලඇණිවල මීළඟ මෙහෙයුම කි‍්‍රයාත්මක වන්නේ ප‍්‍රංශයේ කාලයිස් වරායේදීය. එහෙත් එම අවස්ථාවේද පොලීසියට වඩා ජාවාරම්කරුවන් සූක්ෂ්ම වී තිබිණ. එවරද ආරක්ෂක අංශ අතට පත්වනුයේ සංක‍්‍රමණිකයන් පමණය. කිසිදු ජාවාරම්කරුවකු එම මෙහෙයුමේදීද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාවක් නොලැබිණ. 

ඉහත කී ආකාරයේ අසාර්ථක මෙහෙයුම් කිහිපයක්ම දියත් වීමෙන් අනතුරුව ජාවාරම්කරුවන් කොටුකරගත හැකි වූ එකම මෙහෙයුම ලෙස ජනවාරි 30 වැනි දින දියත් වූ මෙහෙයුම හැ`දින්විය හැකිය. බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට මෙවර සරණාගතයන් නැතත් ජාවාරම්කරුවන් පිළිබඳ හෝඩුවාවක් නිවැරැදිවම ඔවුන් වෙත ලැබී ඇත. ඒකාබද්ධ ආරක්ෂක අංශවල බුද්ධි අංශ මඟින්ද ඉහත හෝඩුවාව ස්ථිර කර තිබේ. ඒ අනුව ලැබුණ හෝඩුවාවෙන් පැවසී ඇත්තේ ජාවාරම්කාර කටයුත්තක් සඳහා අනවසර සංක‍්‍රමණිකයන් මහා පරිමාණයෙන් බි‍්‍රතාන්‍ය වෙත ඇතුළු කරන ශ‍්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු හා ඔවුන්ට සහය දක්වන බි‍්‍රතාන්‍ය ජාතිකයන්ද අදාළ දිනයේ හීත්රෝ ගුවන් තොටුපොළට පැමිණෙන බවය. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට දියත් කළ මෙහෙයුම වෙනත් පාර්ශ්වයක් අතට පත් නොවීම හේතුවෙන් ජාවාරම්කරුවන්ටද නොදැනී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ ඒකාබද්ධ ආරක්ෂක අංශ සමත්විය. 

බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට මහා පරිමාණයෙන් නීති විරෝධී සංක‍්‍රමණිකයන් බි‍්‍රතාන්‍ය තුළට ඇතුළු කිරීමේ චෝදනාව මත ශ‍්‍රී ලාංකිකයන් සිවු දෙනෙකු සහ එක් බි‍්‍රතාන්‍ය වැසියකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ සුදර්ශන් ජයකොඩි, සුබ‍්‍රමනියම් විග්නරාජා, කමලනේසන් කන්දයියා, සෞන්දරනායගම් උවයිස් හා අමරජිත් මුධාර් යන අයය. මෙම ජාවාරම්කාර නඩයේ මහ මොළකරු සේම නායකයා ලෙස බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත්තේ සුදර්ශන් ජයකොඩි නමැත්තාවය. තවමත් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් මෙම ජාවාරම්කරුවන්ගේ පැරැණි ජාවාරම්වල පැටිකිරිය එළියට පැමිණ නැත. දැනට අනවසර සංක‍්‍රමණිකයන් නීති විරෝධී අයුරින් බි‍්‍රතාන්‍යයට ඇතුළු කිරීමට උත්සහ කිරීම ගැන මොවුන්ට එරෙහිව මූලික නෛතික කටයුතු සහ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී. මෙම පිරිස අත්අඩංගුවට පත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංක‍්‍රමණික අපරාධ පරීක්ෂණ අංශයේ ඬේවිඞ් ෆෙයාර්ක්ලෆ් ප‍්‍රකාශ කළේ අත්අඩංගුවට පත් මෙම ජාවාරම්කරුවන් පිරිස ශ‍්‍රී ලංකාවේ සිට යුරෝපයට සංක‍්‍රමණිකයන් පැටවීමේ මහ මොළකරුවන් වන බවත් මොවුන් මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන්ම මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්ය. 

දිගින්දිගටම බි‍්‍රතාන්‍ය වෙත සංක‍්‍රමණය වන ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයන් අතිබහුතරය ද්‍රවිඩ ජාතිකයන්ය. ඇතැම් ද්‍රවිඩ ජාතිකයන් ශ‍්‍රී ලාංකිකයන්ද නොවන අතර ඉන්දියානු පුරවැසියන්ය. නමුත් සංක‍්‍රමණිකයන් ලෙස බි‍්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවලට සංක‍්‍රමණය වන මෙම ඉන්දියානුවන් මෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ද පෙන්වාදෙන්නේ මෙරට රජයේ හමුදාවලින් ඇති තර්ජන නිසා සරණාගතයන් ලෙස පැන ආ බවය. එසේ කර සරණාගතයන් ලෙස පුරවැසිභාවය ලබාගැනීම ඔවුන්ගේ උත්සහය වී ඇත. මෙම වංචනික ප‍්‍රකාශ කිරීම සඳහා ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ අදාළ මිනිස් තැරැව්කරුවන්ය. දිගින්දිගටම මතුවන මෙම අර්බුදකාරි වාතාවරණය නිසාම මේ වනවිට බොහෝ යුරෝපා රටවල් ශ‍්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අත්හිටුවා ඇත. 2013 වසරේ මාර්තු 22 වැනි දින මෙම සංක‍්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය විසින් නව ක‍්‍රියාමාර්ග රැසක් ප‍්‍රකාශයට පත් කළේය. මේ පිළිබඳ දේශීයව දැනුවත් කිරීම ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට පැවරීය. එහෙත් පවතින තත්ත්වය පාලනය කරගැනීමට බි‍්‍රතාන්‍ය රජය අපොහොසත් වූ අතර ශ‍්‍රී ලංකා රජය පාර්ශ්වයෙන්ද ඒ වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබෙන්නේ නැත. තවද අදාළ ජාවාරම්කරුවන්ගේ සූක්ෂ්ම ක‍්‍රියා කලාපය මෙම නව ක‍්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට පැවති ප‍්‍රධානතම අභියෝගය විය. 


කෙසේ නමුත් මෙම ලිපිය අවසානයට කැනඩාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයකු වන ආලෝකා ඉලංගකෝන් මේ සිදුවීම සම්බන්ධයෙන් දැක් වූ අදහසක් එක්කිරීමට තීරණය කළේ ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් සියලූ දෙනාගේම අදහස එය වනු ඇතැයි සිතන නිසාය. 

‘මේ ගැන අහපුවාම මාව සලිත වුණා. එංගලන්තයේ, ඔස්ටේ‍්‍රලියාවේ, ඉතාලියේ විතරක් නෙමෙයි කැනඩාවෙත් ඔය ප‍්‍රශ්නය තියෙනවා. ඔය මිනිස්සු බෝට්ටුවල, කන්ටේනර් පෙට්ටි ඇතුළෙ හංගලා යුරෝපයේ රටවලට ගේන ජාවාරම් පිටිපස්සේ ඉන්න ගොඩක් අය දෙමළ. මේ අය යුද්ධයෙන් අවතැන් වුණා කියලා තමයි ඉස්සර ආවේ. දැන් එන්නේ හමුදාවෙන් එයාලව මරන්න යනවා කියලා. ඕවා ඔය මිනිස්සුන්ට උගන්වන්නේ ඔය ජාවාරම මෙහෙයවන අය. ගොඩක් අය මේ ප‍්‍රශ්නය නිසා ලංකාව සලකන්නේ දෙමළ මිනිස්සුන්ව මරණ ම්ලේච්ඡ රටක් විදිහට. ඒත් මේ වැඩ දිගටම කරගෙන ගියහම විදේශිකයන්ටත් දෙමළ ජනතාව එපාවෙන්න ඉඩ තියෙනවා. අනික මේ වැඩවලින් අපකීර්තියට පත්වෙන්නෙ අපේම රට. අපි හැමෝගෙම රට. අනික ඔය එනකොට කොයි වෙලේ ජීවිතේ අහිමිවෙයිද කියන්න බෑ. කොයිවෙලේ පොලීසියට අහුවෙයිද කියලා දන්නෙත් නැහැ. මම නම් කියන්නේ මේවා ගැන ලංකාවේ රජය මීට වඩා උනන්දු වෙලා හොයලා බලන්න ඕන කියලා. ඒ ආවත් ගොඩක් අයට කරන්න රස්සා හොයාගන්න එක අමාරුයි. හරියට ඉන්න හිටින්න තැනක් ඇත්තෙත් නෑ. මේක දැන් ඒ රටවල්වලට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. හුඟක් රටවල් සංක‍්‍රමණවලට විරුද්ධව නීති පවා සම්මත කරගෙන. ඒ නිසා ආවත් හිතාගෙන එන එක සිහිනයක්වත් ඉෂ්ට වෙන්නෙ නෑ. අමාරුවෙ වැටිලා දුක් විඳලා හිස් අතින් ආපහු යන්න තමයි වෙන්නෙ. ඒ නිසා මම කියන්නෙ නීති විරෝධී විදිහට මේ රටවලට ඇවිත් අමාරුවේ වැටෙන්න එපා කියලා. ’

විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2014 පෙබරවාරි 08 වැනිදා ඉරිදා

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE