Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

සඟවා දමන ලද හෙළ අවුරුදු පුරාණය.

  • by

සඟවා දමන ලද හෙළ අවුරුදු පුරාණය.


සූර්ය මංගල්‍ය හෙවත් හෙළ අලූත් අවුරුද්ද ජාතියක් ලෙස අපට කාරණා දෙකක් මත වැදගත් වේ. නමුත් වර්තමාන බොහෝ වියතුන් මින් අර්ථ දක්වන්නේ ඉන් එකක් ගැන පමණි. සාමාන්‍ය පොදු ජනතාවගේ දැනුම් කෝෂයට එක්ව ඇත්තේද එම කරුණම පමණි. මෙම ලිපිය තුළින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ යටගිය, සඟවා දමන ලද හෙළ අවුරුදු පුරාණයයි.

අරිසෙන් අහුබුදු සුරුවන්ගේ මතය අනුව ‘අවුරුදු’ යන්නෙහි අරුත විශේෂ දිනය යන්නයි. ‘ආ’ යන්නෙන් විශේෂ යන අරුතත් ‘වරු’ යන්නෙන් ‘වාරය හෙවත් දවස’ යන අරුතත් ගෙන දෙයි. මෙම වචන දෙක සන්ධිවීමෙන් අවුරුදු යන පදය සෑදෙයි.

වරු > වුරු> වුරුතු > වුරුදු

අ+ වුරුදු = අවුරුදු

අවුරුදු යන පදයේ අරුත අනුවම මෙම දිනය අපට විශේෂ දිනයකි. ඊට හේතු දෙකක් ඇතැයි මීට ඉහතද දැක්වූ අතර ඉන් බොහෝ දෙනා දන්නා කරුණ නම් හිරු තම ගමන් මෙඟ් නව වටයක් ඇරැඹීමයි. වඩාත් විශේෂිත බොහෝ දෙනෙකු නොදන්නා කරුණ නම් එදිනට හිරු ශ‍්‍රී ලංකාවට මුදුන්වීමයි. නැතිනම් එක එල්ලේ සිටීමයි.

ශ‍්‍රී ලංකාවට හිරු මුදුන්වීමේ දිනය පිළිබඳද විවාදයක් පවතී. බොහෝ දෙනෙකුගේ මතය ලංකාවට හිරු මුදුන්වීම මාර්තු 21 වැනිදා සිදුවන බවයි. නමුත් එය වැරැදි මතයකි. අපේ ඇසට පෙනෙන ගමනකින් හිරු මුදුන්වීම මාර්තු 21 වැනිදා සිදුවුවද සැබැවින්ම හිරු මුදුන්වන්නේ අපේ‍්‍රල් 14 වැනිදාය.

මෙය මෙසේ පැහැදිලි කරගත හැකිය. සමකයේ සිට කර්කටක නිවර්තනය දක්වා හිරු මුදුන්වීමට දින 92ක් ගතවේ. උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර පිහිටි ශ‍්‍රී ලංකාවේ අංශක 6 රේඛාව මතට හිරු මුදුන්වීමට දින 23 1/2ක් ගතවේ. +එය පහත රූප සටහන මඟින් පැහැදිලිව දැක්විය හැකිය.

92 × 6 , 23 1/2 = දින 23 1/2


මාර්තු 21ට දින 23 1/2ක් එක් කළ විට අපේ‍්‍රල් 13 වැනි දින කොග්ගල උතුරු අක්ෂාංශ 6යේ රේඛාව මතට හිරු මුදුන් වේ. අහුබුදු මතයට අනුව කොග්ගලට ඒ නම ලැබී ඇත්තේද හිරු මුදුන්වීමේ හේතුව නිසාය.

ලක් වීම නම් හිරුට ලක් වීමයි. ඒ අනුව හිරුට ලක් වන ගල ලක්ගලයි. මේ අරුතින් ලක් + ගල > ලොග්ගල > කොග්ගල ලෙස ව්‍යවහාරයට පැමිණ ඇත.

හෙළ අවුරුද්ද පිළිබඳ යටගියාවේ පැරැණිතම සඳහන හමුවන්නේ මීට වසර 30,000කට පමණ ඉහතදීය. ඒ යාප නම් ඇදුරෙකු ලියූ හිරු වංශය නම් සඳහනකිනි. ඒ අනුව හෙළයේ පළමු රජු තෝරාගෙන අභිෂේක කොට ඇත්තේ අලූත් අවුරුදු දිනයේදීය. මන්නාරමට හිරු ලම්භක වන අවස්ථාවේදී සෙල්කුලක් පිහිටුවා මෙම අභිෂේක මංගල්‍යය සමරා ඇත. මෙම අලූත් අවුරුදු සැමරුම තහවුරු කිරීමට වර්තමාන මන්නාරමට කිට්ටු ‘පොම්පරිප්පුව’ ප‍්‍රදේශයෙන් පුරාවිද්‍යා සාධක හමුවුවද ඒවා සමාජයට ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි.

හෙළ අවුරුද්ද පිළිබඳ මීට වඩා වෙනස් පැහැදිලි කිරීමක් කරන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ප‍්‍රකාශ කරන්නේ සූර්ය මංගල්‍යය ලෙස සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන උච්චතම ක්ෂේත‍්‍ර අවස්ථාව අවුරුද්ද සැමරීමට සුදුසු දිනය ලෙස තෝරාගත්තේ රාවණ රජුගේ සීයා වන පුලස්ති ඍෂිවරයා බවයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන්කරන උච්චතම අවස්ථාව සූර්ය නමස්කාරයට වඩාත් සුදුසු දිනය ලෙස පුලස්ති ඍෂිවරයා රචිත පැරැණි පුස්කොළ ග‍්‍රන්ථයක් වන ‘සූර්යය නමස්කාර’ ග‍්‍රන්ථයේ සඳහන් වන බවත් මිරැන්ඩෝ ඔබේසේකරයන් තවදුරටත් විග‍්‍රහ කරයි.

කෙසේ නමුත් ඉහත කාරණා සලකා බලනවිට පැහැදිලි වන්නේ හෙළ අවුරුද්දේ ඓතිහාසික, සංස්කෘතික වැදගත්කම හැරුණු කොට එහි විද්‍යාත්මක පදනමක් ද අන්තර්ගත වන බවයි. ඒ මුළු රටටම හිරු මුදුන් වන අවස්ථාව ගණනය කොට බැලූවිට හිරු මේෂ රාශියට පැමිණෙන කාලය තුළ ලංකාවට හිරු මුදුන් වන කාලය බවයි.

ශ‍්‍රී ලංකාවේ විජයාගමනයට පසු ඉතිහාසය ගවේෂණයේදීද හෙළ අවුරුද්ද පිළිබඳ සාධක ඕනෑ තරම් සොයාගත හැකිය. පණ්ඩුකාභය රජ සමයේ පැවැත්වූ ‘නැකැත් කෙළිය’ නම් උත්සවය පිළිබඳ මෙන්ම කිත් විජයබා රාජ සමයේ හා විජයබාහු රාජ සමයේ පැවැත්වූ බවට සඳහන් වන ‘නැකැත් කෙළිය’ උත්සවය හෙළ අවුරුදු උළෙල ලෙසම හඳුනාගත හැකිය.

ඉන් පසු යුගයන්හි හමුවන මීළඟ ප‍්‍රබලතම සාක්ෂිය නම් ඉංග‍්‍රීසි ජාතික ජෝන් ඬේවි කරන සඳහනයි. ඔහු ‘ඬේවි දුටු ලංකාව’ නම් තම කෘතිය තුළ උඩරට ජනතාව වාර්ෂිකව සමරූ අලූත් අවුරුදු උත්සවය ගැන සඳහන් කර ඇත.

ඬේවි තම කෘතියෙහි පෙන්වා දෙන්නේ අලූත් අවුරුද්ද වෙනුවෙන් රජු ‘දින බෝජනය’ නමින් වෙනම සාදයක් පවා පවත්වා ඇති බවයි. මෙම සාදය සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද ආහාර වට්ටෝරුවක්ද වූ බව ඬේවිගේ කෘතියේ සඳහන්ය.

මීට අමතරව මහනුවර නාථ දේවාල පරිශ‍්‍රයේ දී සිදුවූ හිසතෙල් ගෑමේ මංගල්‍යය පිළිබඳද ඬේවි තම කෘතියෙන් විග‍්‍රහ කරයි.

ඬේවි හැරුණු කොට රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ කෘතියද පරිශීලනය කරන්නෙකුට දෙවැනි රාජසිංහ රජ සමයේ හෙළ අවුරුදු උළෙල පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලූත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්ත්වය සමග මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අපේ‍්‍රල් 13 වැනිදා පරණ අවුරුද්ද ලෙසත් අපේ‍්‍රල් 14 වැනිදා අලූත් අවුරුද්ද ලෙසත් සලකනු ලැබේ. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක‍්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක‍්‍රමය අතර පවතින පරස්පරතාව නිසා යැයි අනුමාන කළ හැකිය.

කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලූත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත‍්‍රය පවතින බව සිහිපත් කළ යුතුය.

අලූත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත්හරින බවත් පසුව නක්ෂත‍්‍රකරුවන් දැක්වූ සුබ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමග බැඳුණු උපකරණ වන උදලූ, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදල, කුල්ල ආදී දෛනික දිවියේ භාවිත කරන උපකරණ අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.

සුබ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලූත් අවුරුදු චාරිත‍්‍ර සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුබ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය.

අලූත් අවුරුද්ද සමග බැඳුණු විශේෂිතම ක‍්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොරපොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක‍්‍රීඩාවේ යෙදීමේදී ක‍්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක‍්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක‍්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක‍්‍රමයෙන් එම ක‍්‍රීඩාව අභාවයට යන බව දැක්වේ.

වරක් ගම්පොළ ප‍්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැළී ඒ බව මහ වාසලට සැලවීමත් සමග ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැුස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි.

කෙසේ වෙතත් පොරපොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක‍්‍රීඩා දෙකම පත්තිනි දෙවඟන මුල්කොටගෙන සිදු කරන ක‍්‍රීඩා වන අතර එම ක‍්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවඟන පිළිබඳ සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යද සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලූත් අවුරුදු ක‍්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නිරෝගීභාවය හා සෞභාග්‍ය පොදු ජනයා පැතූ බව පෙනේ.

අලූත් අවුරුද්ද හා බැඳුණු රජ වාසල සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලූත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳ ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංශකතා රචනා වූ සමයේ පටන් ඒ තත්ත්වය පොදුවූ බව පෙනේ.

නොක්ස් දක්වන පරිදි අලූත් අවුරුදු උත්සවය සඳහා රජ මාලිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාලිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නවයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටි සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරණ මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත.

මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාලිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප‍්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ.

අලූත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත.

පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරින් දක්වා වන රාජකීය නිලධාරින් රජු වෙනුවෙන් අලූත් අවුරුදු ‘පෙනුම් කත්’ රැුගෙන එන අතර ඒ යටතේ රජු ප‍්‍රිය කරන්නේ යැයි හැෙඟන අවි ආයුධ, ආභරණ, වස්ත‍්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලූත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ.

හෙළ අලූත් අවුරුදු උදාව පැහැදිලි කරගැනීමේදී විශේෂයෙන් අවධාරණය කළ යුත්තේ සැබෑ සිංහල දින දසුන දින 365 ක‍්‍රමයට ගමන් කළ බවයි. හෙළ දින දසුන නිර්මාණය වන්නේ හිරුගේ ගමන මත පදනම්වය. මීට හොඳම උදාහරණය හෙළ අවුරුදු උළෙලයි. සෑම අපේ‍්‍රල් 14 වැනි දිනම අලූත් අවුරුදු උදාවීම නැතහොත් හිරු ලංකාවට මුදුන්වීම සිදුවීම අහම්බයෙන් සිදුවූවක් නොවේ. එය වසර 30,000කටත් එපිට කාලාන්තරයක් තිස්සේ හෙළයන් පවත්වාගෙන පැමිණි චාරිත‍්‍රයකි. මෙය හඳුනාගැනීමට නම් අතීත හෙළයන්ට දින දසුනක් තිබිය යුතු බව ඉන් ඉස්මතු වන තර්කයකි. නමුත් දින දසුනේ උපත ඊජිප්තුවේ ගිණුමට බැර වීම හෙළයන්ට සිදුව ඇති ඓතිහාසික අසාධාරණයකි.

හෙළ අවුරුද්දේ තවත් විශේෂත්වයක් නම් එය ස්වභාවධර්මයා සමග පවත්වන සමීප සම්බන්ධයයි. බක් මාසයේ නමෙහි උපත පිළිබඳ අදහස් දක්වන අහුබුදු සුරුවන් පවසන්නේ හිරු නව වටය අරඹන භාග්‍යයෙන් අග‍්‍ර මාසය යන අරුත් ඇතිව ‘බක්’ යන්න නිර්මාණය වී ඇති බවයි.

භාග්‍යයෙන් (බා) අග‍්‍ර (අග) මස

බා+ අග > බග > බක්

මෙහි භාග්‍ය නම් ලංකාවේ ස්වාභාවික සුන්දරත්වයේ සිට ජනතාවගේ සිත් සතන් දක්වා භාග්‍යයෙන් පිරී ඉතිරීමයි.

බක් මාසය ශ‍්‍රී ලංකාවේ වසන්ත මාසයයි. සිසිල් සහ සුවදායක කාලගුණයක් පවතින මේ කාලය ගස්වැල්, මලින් බරවන හා ඵලබර වන මාසයයි. කුරුල්ලන් වාසස්ථාන නිර්මාණය කරගෙන බිත්තර දමන කාලයයි. එනම් මේ කාලය මුළු රටම මංගල සිරි ගන්නා සමයකි. අටුකොටු පිරී ඉතිරී ස්වාභාවික සුන්දරත්වය දෙගුණ තෙගුණ වන මේ සමය හැඳන්වීමට ‘භාග්‍යයෙන් අග‍්‍ර වූ’ මාසය යන්න වඩාත් සුදුසුය.

වසර 30,000කටත් එහා හෙළ අවුරුදු පුරාණය අද වනවිට විවිධ මතිමතාන්තර හා ප්‍රෝඩාවන් තුළින් වසන් කර හමාරය. නමුත් මෙහිලා අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ ‘සිංහල හා හින්දු අලූත් අවුරුද්ද’ යනුවෙන් හෙළ අලූත් අවුරුදු උළෙල හැඳින්වීම බලවත් වරදක් බවයි. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලූත් අවුරුද්ද සමරන්නේ ඉන්දියානු චාරිත‍්‍රයකට අනුව නොවේ. හින්දු අලූත් අවුරුද්ද නම් තෛපොංගල් උත්සවයයි. මෙය පැහැදිලිව වෙන්කොට හඳුනාගත යුතු කරුණකි. මෙය සනාථ වන ප‍්‍රධානම කරුණ නම් අපේ‍්‍රල් මාසයේදී ඉන්දියාවේ හින්දු භක්තිකයන් අලූත් අවුරුදු උළෙලක් සැමරීම දක්නට නොලැබීමයි. ඔවුන් තම නව වසර සමරන්නේ ජනවාරි මස තෛපොංගල් උත්සවයෙනි. ඒ අනුව මෙරට හෙළ අවුරුද්ද ‘සිංහල හා හින්දු අලූත් අවුරුද්ද’ ලෙස හැඳින්වීම බලවත් වරදක් බව තහවුරු වේ. මෙය ලංකාවේ හින්දු භක්තිකයන්ට හෙළ ආභාසයෙන් ලැබුණු උත්සවයක් ලෙස සැලකීම වඩාත් සුදුසුය. කෙසේ නමුත් හෙළ අවුරුද්ද, සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ලෙස හැඳින්වීමේ ඓතිහාසික වැරැද්ද බලධාරින් අතින් ඉක්මනින් නිවැරැදි කළ යුතුය. නැතහොත් එය හෙළ අවුරුද්දේ අවසානය තවත් ඉක්මන් කරනු ඇත. 



විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE