අධිකරණ සංවිධාන (සංශෝධන) පනත කුමක්ද?


අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

වැඩි ඡන්ද 67කින් සම්මත වූ මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 52 ක්ද ලැබිණ. 

2018 මාර්තු මස 06 වන දින අධිකරණ ඇමතිතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මඟින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය විය.

විවේචන

මෙම පනත පිළිබඳව පසුගිය සමයේ විවිධ අදහස් පළවූ අතර එම පනත අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද ඉදිරිපත් විය.

එම පාර්ශවයන් ඉදිරිපත් කර තිබු පොදු තර්කය වුයේ එම පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය නිසි ලෙස සම්මතවීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

කෙසේ නමුත් පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් 2018 අප්‍රේල් 03 වන දින පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණ.

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය

මේ පනත යටතේ පිහිටුවන ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් විභාග කිරීම, නඩු විභාග කිරීම සහ තීරණය කිරීම කළ යුතු බව දැක්වේ.

ඒ, සොරකම, දේපල වංක පරිහරණය , සොරකම් කළ දේපල සඟවා තැබිමට සහය වීම, කූඨ ලේඛන සෑදීම, ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අධිකරණ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අල්ලස් ගනුදෙනු , පොදු දේපල සොරකම් කිරීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙනි.

මෙම ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය, මහාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන, එකවර විනිශ්චයාසනාරූඪ වන විනිශ්චයකාරවරයන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. ඉන් එක් විනිශ්චයකාරවරයකු, ඒ අධිකරණයේ සභාපතිවරයා ලෙස නම් කිරීමට නියමිතය.

බලපෑම කාටද?

මෙම පනත යටතේ යම් තැනැත්තකු විසින් ශ‍්‍රී ලංකාව ඇතුළත සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ සිදුකරන ලද වරදක් විභාග කිරීම, නඩු විභාග කිරීම සහ තීරණය කිරීමට නියමිතය.

එසේම ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින්, ශ‍්‍රී ලංකාවේ දේශ සීමාවෙන් පිටත කිනම් ස්ථානයක දී හෝ කවර වර්ගයක නැවක හෝ යම් ගුවන් යානයක නැතහොත් එබඳු යම් නැවක් හෝ ගුවන් යානයක් සම්බන්ධයෙන් සිදු කරන ලද වැරදි මේ සම්බන්ධයෙන් මෙම පනත මඟින් ආවරණය කර තිබේ.

අමාත්‍යවරයාට සුවිශේෂී බලයක්?

මෙම පනත මඟින් අධිකරණ අමාත්‍යවරයා වෙත බලතල විතැන් කිරීමක් සිදු කර තිබීම සුවිශේෂී කරුණක් වේ.

ඒ අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත‍්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන ස්ථානය හෝ ස්ථාන නිශ්චිතව දක්වනු ලැබිය හැකි ය.

මේ සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් එල්ල වූ අතර ඉන ප්‍රකාශ වුයේ මෙමඟින් අධිකරණ අමාත්‍යවරයාට අධිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති කිරීමට ඉඩක් නිර්මාණය වන බවයි.

කෙසේ නමුත් මෙහි ඇති සාධනීය තත්ත්වය වන්නේ අමාත්‍යවරයා විසින් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන ස්ථානය හෝ ස්ථාන නිශ්චිතව දැක්වීමේ දී අධිකරණ සේවා කොමිෂන් සභාව විමසනු ලැබිය යුතු වීමයි.

මෙමඟින් අමාත්‍යවරයාට ලබා දී ඇති බලය තුලනයකට යටත් කර තිබීම සුවිශේෂිය කරුණකි.

එසේම අමාත්‍යවරයා විසින් ගැසට් පත‍්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ ඒ අධිකරණ සංඛ්‍යාව වැඩි කරනු ලැබිය හැකි ය.

එහිදී ද අමාත්‍යවරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව විමසනු ලැබිය යුතුය.

නඩු පැවරීම

මෙසේ පිහිටුවන ලබන ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ බලය අවස්ථාවෝචිත පරිදි, නීතිපතිවරයා හෝ අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත හිමිව තිබේ.

එහිදී වරදක් නිසා වින්දිතයා මත වන බලපෑම හෝ වරදක් නිසා රජය මත වන බලපෑම, සැලකිල්ලට ගෙන, යුක්තිය ඉෂ්ට කිරීම අරභයා සහ මහජන සහ ජාතික යහපත අරභයා, ස්ථිර
ත‍්‍රිපුද්ගල මහාධිකරණයෙහි අපරාධ නඩු කටයුතු පවරනු ලැබිය යුතු ය.

දිනපතා නඩු විභාගය

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියෙහි ඇති නඩු විභාගයක් නීතිපතිවරයා විසින් හෝ අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත‍්‍රයක්
මත පවත්වනු ලැබිය යුතු වන අතර ඉක්මණින් පවත්වා අවසන් කරනු ලැබිය යුතු වේ.

එසේම එම නඩු ඉක්මණින් අවසන් කිරීමට හැකි වන පරිදි දිනපතා විභාග කළ යුතු ය.

එසේ නොකළ හැක්කේ වාර්තා කරනු ලැබිය යුතු අසාමාන්‍ය අවස්ථානුගත කරුණු නිසා අවශ්‍ය වන්නේ නම් පමණි.

මෙහිදී යම්කිසි නිශ්චිත දිනයක යම් නිශ්චිත නීතිඥවරයකුට එම දිනයේ දී වෙනත් යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක පෙනී සිටීමට යොදා ගෙන තිබීම ඇතුළුව, යම් හේතුවක් මත ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියෙහි පෙනී සිටීමට නොහැකි වීම, නඩු විභාගය ආරම්භ කරන දිනය කල් දැමීමට හේතුවක් නොවිය යුතු බව මෙම පණතේ දක්වා තිබේ.

එය මෙම පනත තුලින් නඩු විභාග කිරීම කාර්යක්ෂම කිරීම සඳහා පනවා ඇති සුවිශේෂී නියෝගයක් ද වේ.

අභියාචනය කිරීමේ අයිතිවාසිකම

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවත්වන ලද නඩු විභාගයක දී ප‍්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවක්, දණ්ඩන නියමයක් හෝ ආඥාවක් සම්බන්ධයෙන් වන අභියාචනයක්, එකී නඩු තීන්දුව, දණ්ඩන නියමය හෝ ආඥාව ප‍්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට දින විසි අටක් ඇතූළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර අග‍්‍ර විනිශ්චයකාරවරයා විසින් නම් කරනු ලබන එකී අධිකරණයේ විනිශ්චයකාරවරයන් පස්දෙනකුට නොඅඩු සංඛ්‍යාවකින් යුත් විනිශ්චය පීඨයක් මගින් විභාග කළ යුතු ය.

එහිදී අග‍්‍ර විනිශ්චයකාරවරයා විසින් එම විනිශ්චය පීඨයට තමාව ම නම් කරනු ලැබීම නීත්‍යනුකූල කිරීමක් ද කර තිබේ.

මහාධිකරණ විතරක් ඇතිද?

මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ගෙන ආ මෙම පනත තුලින් මෙරට අධිකරණ ක්ෂේත්‍රය කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂිතය.

නමුත් සිවිල් නඩු සම්බන්ධයෙන් මෙරට ඇති කල්ගතවීම මෙරට ජනතාවගේ ජන ජීවිතය සහ ආර්ථිකය කෙරෙහි ඇති කර තිබෙන අයහපත් බලපෑම සුළුපටු නොවේ.

පරම්පරා ගණනාවක් තිස්සේ ඇදෙන ඉඩම් නඩු ද, වසර ගණනාවක් තිස්සේ කල් යන දික්කසාද සහ වන්දි නඩු ද මෙරට සමාජ ප්‍රගමනයට කර ඇති හානිය මෙහි විශේෂයෙන් විග්‍රහ කල යුතු නොවේ. 

ජනතාවාදී ආණ්ඩුවක් ලෙස සිවිල් නඩු විභාග කිරීමේ ක්‍රියාවලි කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ද යම් ක්‍රියාමාර්ග ගත හැකි නම් එය යහපත් වනු ඇති බව ද සටහන් කල යුතුය.

[විමුක්ති දුෂාන්ත | රැස පුවත්පත]