සංහිඳියාවේ මිත්‍යාව සහ හානිපූරණය.


ශ්‍රී ලංකාව තුළ අන් සියළු කාරණා සේම “සංහිඳියාව” පිළිබඳව ද ඇත්තේ අවිඳිමත් දැනුමකි. සංහිඳියාව පිළිබඳ සංකල්පය, බුද්ධිමය සංවාදයකට සේ ම ජනතාකරණයකට ද ලක්ව තිබුණේ නැත.

නමුත්, සංහිඳියා යාන්ත්‍රණය අධීක්ෂණය කිරීමේ කාර්යාලය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කල ‘අහන්න’ වැඩසටහන තුලින් 'සංහිඳියා යාන්ත්‍රණය' පිළිබඳව මෙරට ජන සමාජය තුළ බුද්ධිමය සංවාදයකට මූල බීජ වැපිරීමට අවස්ථාව උදාවිය.

මෙම වැඩසටහනේ පළමු අදියර මොනරාගල ප්‍රදේශයෙන් අවසන් වූ අතර එහි දෙවන අදියර මේ වන ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් පවති.

කෙසේ නමුත් මෙම වැඩසටහන අතරතුර ජනතාව වෙතින් සංවාදයට විවර කල කාරණා බොහෝමයකි. 

කණගාටුවට කරුණ නම් 'සංහිඳියා යාන්ත්‍රණය' පිළිබඳව අවබෝධය පොදු ජනතාව කෙසේ වෙතත් ග්‍රාමීය මට්ටමේ ජනමතය හසුරුවන රජයේ නිලධාරීන්ට, ප්‍රාදේශීය දේශපාලකයන්ට සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ට මෙය අතිශය දුරස්ථ වූ සංකල්පයක් බවට පත්ව තිබීමයි.

එසේම 'සංහිඳියා යාන්ත්‍රණය' ඔවුන්ට අනවබෝධයෙන් සහ මිත්‍යාවෙන් වැසුණු සංකල්පයක් බවට පත්ව තිබේ.
  • සංහිඳියාව යනු ත්‍රස්ත්‍රවාදයට ඉඩ දීමක් ද?
2003 දී ප්‍රකාශිත IDEA අත්පොතට අනුව සංහිඳියාව යනු සත්‍යය, යුක්තිය, සුවකරගැනීම සහ තවත් බොහෝ දෑ සොයා යන ගමනකින් සමන්විත අති – දීර්ඝ ක්‍රියාවලියකි.  

සරලව ම කියතොත් එදිරිවාදීකම් අත්හැර එක්ව ජීවත් වීමයි. 

මෙහිදී එදිරිවාදීන්ට ප්‍රේම කිරීමට හෝ සමාව දීමට එසේත් නැතිනම් අතීතය සහමුලින්ම අමතක කිරීම අත්‍යවශ්‍ය නැත. 
  • සංහිඳියාව උතුරට පමණයි ද?
සංහිඳියාව යනු එක් වාර්ගික කොටසකට, ආගමික හෝ එක් ප්‍රදේශයකට සීමා වූ සංකල්පයක් නොවේ. සංහිඳියාව යනු සියලු වාර්ගික, ආගමික, ප්‍රාදේශීය අනන්‍යතාවයන් සුරකිමින් වේගවත් සංවර්ධනයකට පදනම් දැමිය හැකි සංකල්පයකි.
  • යුද්ධය ඉවරයි! ප්‍රශ්නයත් ඉවරයි නේද?
යුද්ධයේ අවසානය යනු එහි වින්ඳිතයන්ගේ හෝ වින්ඳිතයන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ වේදනාවේ හෝ පීඩාවේ අවසානය නොවේ. එය උතුරට හා දකුණට පොදු වේදනාවක් සේම ගැටළුවකි.
  • ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්නේ කෙසේ ද?
යුද්ධයකින් මානව ප්‍රජාවකට අහිමි වූ කිසිවක් ප්‍රතිෂ්ඨාපනය කල නොහැක. විශේෂයෙන් ම යුද්ධය නිසා අහිමි වූ ජිවිත හා කාලය මින් ඉදිරියෙන් ම ඇති සාධක දෙකකි.

නමුත්, හානිපුරණය කිරීමක් තුළින් සැලකිය යුතු සහනයක් ලබා දීමට සහ ඒ තුලින් ඔවුන්ට යම් සාධාරණයක් කිරීමට උත්සහ කළ හැක.
  • ලංකාවේ හානිපුරණය සඳහා යාන්ත්‍රණ ක්‍රියාත්මක වී තිබේ ද?
ඔව්. 'තැනැත්තන්, දේපළ සහ කර්මාන්ත පුනරුත්ථානය කිරීමේ අධිකාරිය' (REPPIA) මීට පෙර ශ්‍රී ලංකාවේ හානිපුරණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. නමුත් මෙම යාන්ත්‍රණයේ කාර්‍යභාරය පුළුල් කිරීමේ අවශ්‍යතවයක් මතුව තිබේ.
  • හානිපුරණය සඳහා වන කාර්යාලයක්?
පසුගිය ජුනි මස 28 වැනිදා හානිපූර්ණය සඳහා වන කාර්යාලයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබූ අතර එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
  • මෙම කාර්යාලයේ පිහිට කාටද?
එක් වාර්ගික කොටසකට, ආගමික හෝ එක් ප්‍රදේශයකට සීමා නොවී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය, දේශපාලන නොසන්සුන්භාවයන් හෝ සිවිල් කැලඹිම්, බරපතල ගණයේ අයිතිවාසිකම් කඩවීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් වින්දිතයන් බවට පත් වු හෝ ඔවුන්ගේ ඥාතීන්ට මෙම කාර්යාලයේ පිහිට ලැබේ.

a 2.jpg
  • මෙම කාර්යාලය වන්දි දෙන ආයතනයක් ද?
හානිපුර්ණය හුදු වන්දි ලබාදීමකට පමණක් සීමා නොවේ. 

වින්දිතයන් පෙර සිටි තත්ත්වයට නැවත ගෙන ඒම (ප්‍රතිස්ථාපනය ), ඔවුනට සිදුවූ හානි යථා තත්ත්වටය පත්කිරීම සහ ඒවායින් ඇතිවන බලපෑම් සමනය කිරීම, පුනරුත්ථාපනය කිරීම, මානසික සහන සැලසීම, මූල්‍යමය වන්දි ලබා දීම මෙන්ම මෙවන් තත්ත්වයක් යලි නැවත ඇති නොවන බවට තහවුරු කිරීම මෙම කාර්යාලය මඟින් සිදුවේ. 
a 1.jpg
  • මෙය ස්ථිරසාර විසඳුමක් ද?
හානිපූරණය කල පමණින් වසර ගණනාවක් පුරා මෙරට ජන සමාජය මුහුණ දුන් කටුක අත්දැකීම අමතක කර දැමීමට හෝ වල දැමීමට නොහැකි වනු ඇත. නමුත් මෙම කාර්යාලයේ එක් අරමුණක් වන යලි එවන් තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු කිරීම තුලින් වඩාත් යහපත් හෙට දවසකට පියමැනිමට අපට හැකි වනු ඇත.

30 වසරකට අධික කාලයක් පුරා අප අත්විඳි කටුක අත්දැකීම සමුදාය අප අනාගත පරපුරට ශේෂ කල යුත්තේ අතීතයෙන් පාඩම් උගත යුතු මතකයක් ලෙස විනා, බිඳුනු ජාතිකත්වය අඳුරු සෙවනැලි සමුදායක් ලෙස නොවේ.

සංහිඳියාව යනු සහනාධාර හෝ අමතක කිරීම නොවේ. සංහිඳියාව යනු තිරසර සංවර්ධනයක මූලික පදනමයි.

[විමුක්ති දුෂාන්ත]
'අහන්න' සංහිඳියාව පිළිබඳ ජාතික වැඩසටහන.
[රැස පුවත්පත - 2018.10.03]